සම්පත් බැංකුවේ ලාභාංශ රු. 8.25ද? 2.75ද? යන්න තීරණය කොටස් හිමිකරුවන්ටම භාරදෙයි

සම්පත් බැංකුවෙහි කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යෝජනා කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඊයේ (පෙබරවාරි 15දා) දිනයේදී රැස්වුණු එම බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ හමුවේදී මේ තීරණය ගෙන තිබේ.

ඒ අනුව දැනට නිකුත් කර ඇති බැංකුවෙහි කොටස් සංඛ්‍යාව වන 381,457,985ක් සඳහා එක් කොටසකට රුපියල් 8.25 බැගින් ලාභාංශ ගෙවීමට මෙහිදී යෝජනා වී තිබේ. 2020 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය වෙනුවෙන් මෙම ලාභාංශ ගෙවන බව බැංකුව පවසයි. එසේම පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම ලෙස මෙය සිදු කරන බවත් මෙම නිවේදනයේ සඳහන් වෙයි.

ඒ අනුව මෙම කොටස් සංඛ්‍යාවකට එක් කොටසකට රුපියල් 8.25 බැගින් ලාභාංශ ගෙවීමේදී වැයවන පිරිවැය රුපියල් බිලියන 3.1ක් (3,147,028,376.25ක්) වෙයි.

කෙසේ වෙතත් සම්පත් බැංකුව මගින් දැනට යෝජනා කර ඇති 1:3 අනුපාතයේ කොටස් අතුරු බෙදීම ලබන මාර්තු 17 වැනිදා පැවැත්වෙන අතිවිශේෂ මහා සභාරැස්වීමේදී අනුමත වුවහොත් මෙම ගෙවන ලාභාංශ වටිනාකම තුනෙන් පංගුවකින් අඩු වෙන බවද බැංකුව දැනුම් දී සිටියි.

ඒ අනුව මෙම කොටස් අතුරු බෙදීම සම්මත වුවහොත් එහිදී බැංකුව නිකුත් කර ඇති කොටස් සංඛ්‍යාව 1,144,373,955ක් දක්වා ඉහළ යයි. එහෙත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල විසින් දැනට තීරණය කර ඇති ලාභාංශ ගෙවීමේ සමස්ත වටිනාකම වන රුපියල් 3,147,028,376.25 ක මුදල යටතේ එක් කොටසක් වෙත හිමි වන්නේ රුපියල් 2.75ක ලාභාංශ ගෙවීමක් පමණකි.

ඒ අනුව 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන මූල්‍ය වසර සඳහා ලාභාංශ ලබා ගැනීමේදී එය රුපියල් 8.25ක් ලෙස ලබා ගන්නවාද, එසේත් නැත්නම් රුපියල් 2.75ක් ලෙස ලබා ගන්නවාද යන්න තීරණය කොටස් හිමිකරුවන් සතුව පවතින බව බැංකුව පවසයි.

මේ අතර අදාළ ලාභාංශ ගෙවීම පිළිබඳ අනුමැතියද ලබන මාර්තු 30 වැනිදා පැවැත්වෙන බැංකුවේ වාර්ෂික මහා සභා රැස්වීමේදී ගැනීමට නියමිතව ඇත. ඒ අනුව ලබන අප්‍රේල් 23 වැනිදා මෙම ලාභාංශ ගෙවන දිනය ලෙස සටහන්ව ඇත. එසේම ලාභාංශ නොගෙවන දිනය (XD date) ලෙස 2021 මාර්තු 30 වැනිදා බවද බැංකුව ප්‍රකාශ කර ඇත.

Views: 983