කොටස් හුවමාරුවේ ගනුදෙනු දිනයේ දෙවැනි අවස්ථාවටත් අත්හිටුවයි

කොළඹ කොටස් හුවමාරුවෙහි පිහිටුවා ඇති ගනුදෙනු ස්වයංක්‍රීය අත්හිටුවීමේ පද්ධතිය ක්‍රියාත්මකවීමත් සමගම අද දිනයේදී දෙවැනි වරටත් එහි ගනුදෙනු අත්හිටුවීමක් සිදු වුණු බව වාර්තා වෙයි. එහි ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා දර්ශකයේ අගය පෙර දිනයට සාපේක්ෂව -7.5% ප්‍රතිශතයකට වඩා අඩුවීමත් සමගින්ම සිදුවන මෙම ස්වයංක්‍රීයව ගනුදෙනු අත්හිටුවීම යටතේ මෙය සිදුව තිබේ.

ඒ අනුව පස්වරු 12.20 සිට පැය භාගයක කාලයකට ගනුදෙනු අත්හිටුවුණි. එම අවස්ථාව වන විට එම දර්ශක අගය -8.13%ක් ලෙස සටහන්ව තිබුණි. පස්වරු 12.50ට එහි ගනුදෙනු යළිත් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

මේ අතර අද පෙරවරු 11.47 ටත් කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අත්හිටුවීම සිදු විය.  එහි ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා දර්ශකයේ අගය පෙර දිනයට සාපේක්ෂව -5.0% ප්‍රතිශතයකට වඩා අඩුවීම ඊට හේතු විය. ඉන් පැය භාගයකට පසුව පස්වරු 12.15ට ගනුදෙනු යළිත් ආරම්භ කෙරුණත් දර්ශක අගයන් ඉහළ යාමක් පෙන්නුම් නොකෙරිණි.

කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා වෙළෙඳ පොළ කටයුතු වෙත සිදුව ඇති බලපෑම මඟහරවමින් යළිත් වරක් කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අවහිරයකින් තොරව පවත්වාගෙන යාම සඳහා පියවර ගැනීමේ ඇති හැකියාව සම්බන්ධයෙන් කරුණු කිහිපයක් නිකුත් කරමින් එහි නියාමකයා වන විනිමය හා සුරැකුම් පත් කොමිසම පසුගිය අප්‍රේල් මාසයේදී මෙම ස්වයංක්‍රීය පද්ධතිය හඳුන්වාදීම සිදු විය.

මෙහිදී පළමු සහ දෙවැනි ගනුදෙනු අත්හිටුවීම්වලින් අනතුරුව තෙවැනි අත්හිටුවීමක්ද එහිදී හඳන්වාදී තිබේ. ඒ අනුව මෙම තෙවැනි අත්හිටුවීම, දෙවැනි වරටත් ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකය 2.5%කින් පහත වැටීම සිදුවී (සමස්තය -7.5%) ගනුදෙනු විනාඩි 30ක කාලයකට අත්හිටවුවීම සිදුවී යළිත් වරක් එය ආරම්භ වීමෙන් අනතුරුව ක්‍රියාත්මක වන්නකි.

ඒ අනුව යම් ලෙසකින් යළිත් වරක් එම දර්ශකය 2.5%කින් පහත වැටුණේ නම් (එනම් සමස්ත අවප්‍රමාණයවීම -10%ක් ලෙස) වාර්තා වුණි නම් සිදුකරන සියලුම ගනුදෙනු අත්හිටුවා එදිනෙකට වෙළෙඳපොළ වසා දැමීමට පියවර ගැනීමක් සිදු වෙයි.

Views: 342