HNB වෙතින් ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන් 200 කට රු. මිලියන 20ක ප්‍රදානයක්

කොවිඞ්-19 වසංගතයෙන් දැඩි බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන් 200 දෙනෙකුට අතහිත දීමේ අරමුණින් රුපියල් මිලියන 20ක ප‍්‍රදානයක් ලබා දීමේ වැඩසටහන මෑතකදී හඳුන්වා දුන් බව හැටන් නැෂනල් බැංකුව (HNB) පවසයි. 

HNB තිරසාර පදනම හරහා පිහිටුවන ලද මෙම අරමුදල මගින් ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන්ට සිය ව්‍යාපාර නැවත නගා සිටුවීමට සහ ඔවුන්ගේ ව්‍යාපාර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මට්ටමට ගෙන ඒමට කටයුතු කිරීම සඳහා රුපියල් ලක්ෂයක් දක්වා වූ මූල්‍ය පහසුකම් ලබා දෙනු ඇත. කොවිඞ්-19 වසංගතයෙන් දැඩි බලපෑමට ලක් ව සිටින තෝරා ගත් HNB ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකින් පිරිසකට අදියර දෙකක් යටතේ බැංකුව මෙම ප‍්‍රදානය ලබා දෙනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන HNB කළමනාකාර අධ්‍යක්‍ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී සහ HNB තිරසාර පදනමේ සභාපති ජොනතන් අලස් මහතා ‘‘අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ව්‍යාපාර සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය ලබා දෙමින් නැවත නැගී සිටීම සඳහා ඔවුන් මෙම ප‍්‍රදානය උපරිම ලෙස යොදා ගනු ඇති බව අප බලාපොරොත්තු වෙනවා. SME ක්ෂේත‍්‍රයට අප පිවිසි දා පටන් මෙන්ම දශක තුනකට වැඩි කාලයක් ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රය සමඟ කටයුතු කර ඇති නිසා ඔවුන්ව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයකු බවට පත් කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය සහාය හා දැනුම ලබා දෙමින් ඔවුන්ව දිරිමත් කළ යුතු බව අප හොඳින් තේරුම් ගෙන තිබෙනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

HNB හි තිරසාර පදනම මගින් සමාජ සත්කාර කටයුතු මෙහෙය වනු ලබන අතර දිවයින පුරා පිහිටි බැංකුවේ ශාඛා ජාලය මහජනතාව හා කාර්ය මණ්ඩලය ද සම්බන්ධ කර ගනිමින් ස්ථාන පදනම් කරගත් ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරයි. මෙම පදනමේ උපායමාර්ගික ක්ෂේත‍්‍රයන් අතර අධ්‍යාපනය, සෞඛ්‍යය, ව්‍යවසායකත්ව සවිබල ගැන්වීම සහ පාරිසරික යන ක්ෂේත‍්‍ර ඇතුලත් වේ.

1980 වසරේ සිට ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින්ගේ වර්ධනය වෙනුවෙන් ඔවුන් හා සමීපව කටයුතු කරන HNB මෙරට ග‍්‍රාමීය ආර්ථික සංවර්ධනය හා සමෘද්ධිමත් කිරීමේ නිශ්චිත අරමුණ සහිතව ක්ෂුද්‍ර මූල්‍ය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක (MSME) ක්ෂේත‍්‍රයට ඇතුළු වූ පුද්ගලික අංශයේ පළමු වාණිජ බැංකුව බවට පත් විය.

HNB Chief Transformation/නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ HNB තිරසාර පදනමේ භාරකාර, එල්. චිරන්ති කුරේ මහත්මිය මෙහිදී අදහස් දක්වමින්, ‘‘දේශීය හා ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කරමින් පහළ මට්ටමේ සිට ගනුදෙනුකරුවන්ට ව්‍යාපාර වැඩිදියුණු කිරීම සඳහා අවස්ථාවන් නිර්මාණය කිරීමට බලපෑම් කළ හැකි අරමුදලක් පිහිටුවීම HNB තිරසාර පදනමේ දිගු කාලීන ඉලක්කයයි. මෙම පදනම සමඟ ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධනයක් කරා යන ගමනේදී ගනුදෙනුකරුවන්ට අවශ්‍ය ආදායම් මාර්ග සපයා දීම හා පහසුකම් සලසන්නෙකු ලෙස ක‍්‍රියා කිරීමට අප බලාපොරොත්තු වෙනවා.’’ යනුවෙන් පැවසුවාය.

මුළු දිවයිනම ආවරණය කරමින් පත් කර ඇති ගැමි පුබුදුව නිලධාරී ජාලය උපයෝගී කර ගනිමින් HNB මූල්‍ය සාක්ෂරතාවය, ව්‍යාපාර ශක්තිමත් කිරීම හා අපනයන අවස්ථාවන් සඳහා පහසුකම් සැලසීමට නිර්මාණය කර ඇති උපදේශන සේවා හා පුහුණුකිරීමේ වැඩසටහන් ඇතුළුව බිම් මට්ටමේ ව්‍යවසායකයින් සමඟ විශ්වාසය හා දිගුකාලීන සබඳතා වර්ධනය කිරීම මත රඳා පවතින ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රය සඳහා සාර්ථකව පුරෝගාමී ලෙස කටයුතු කර ඇත.

ඡායාරූපය – HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී සහ HNB තිරසර පදනමේ සභාපති, ජොනතන් අලස් මහතා විසින් කඩවත ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවකු වන ජී. ඒ. ඒ. නිලූක්ෂ මහතා වෙත චෙක් පතක් පිරිනමමින්. (වමේ සිට) HNB සුළු හා මධ්‍ය පරිමාණ සහ ක්ෂුද්‍ර මූල්‍ය අංශ ප‍්‍රධානී, කයිලයිවාසන් ඉන්ද්‍රවාසන්, HNB ජාල කළමනාකරණය පිළිබඳ සහකාර සාමාන්‍යාධිකාරී, විනෝද් ප‍්‍රනාන්දු, HNB Chief Transformation Officer /නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ HNB තිරසාර පදනමේ භාරකාර, එල්. චිරන්ති කුරේ සහ HNB පාරිභෝගික සහ සුළු හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න යන මහත්ම මහත්මීන් ද ඡායාරූපයේ වෙයි.

Views: 141