බදු සහ අනපේක්ෂිත ප්‍රතිවිපාක පිළිබඳ නීතිය/බදු සහ බදු වල අවුල්

Covid -19 තත්වයත් සමගම සෑම රටකම රජයන්  ඉතා ඉක්මනින්ම  ජනතාවට බලපාන තීන්දු තීරණ ගන්නා බව පෙනෙන්නට තිබේ. එම බොහෝ තීරණ ජනතාවට  යහපතක්  සිදුකරන චේතනාවෙන් ඉටු කරත් ප්‍රතිපත්ති   සම්පාදන‍ය  පිළිබඳ ඇති අවබෝධය අඩුවීම නිසා  ජනතාවට යහපතක් ඉටු කරන බලා බලාපොරොත්තුවෙන් ගන්නා බොහෝ තීරණ  එම ජනතාව අපහසුතාවයට පත් කරන අනපේක්ෂිත ප්‍රතිවිපාක ඇතිකරන තීරණ බවට පත්වේ.  මේ ලිපියෙන් ඉතිහාසය පුරා එලෙස සිදු වූ අවස්ථා ගැන සාකච්ඡා  කිරීමට බලාපොරොත්තු වේ. 

අනපේක්ෂිත ප්‍රතිවිපාක පිළිබඳ නීතිය ඇඩම් ස්මිත්ගේ කාලය තරම් දුර අතීතයකට හිමිකම් කියන්නකි. ඒ නමුත් මෙම සංකල්පය ජනගත කරනු ලැබුවේ සමාජවිද්‍යාඥ රොබට්. කේ. මර්ටන් විසිනි. මෙම නීතියෙන් කියා පාන සරල යථාර්ථය වන්නේ රජයක් කිසියම් ප්‍රතිඵල දාමයක් බලාපොරොත්තුවෙන් ක්‍රියාත්මක වුවත්, (අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී) ඇතිවන වෙළඳපළ සමතුලිතය ළඟා කර ගත නොහැකිවාක් මෙන්, මෙම අවස්ථාවේදීද අනපේක්ෂිත ප්‍රතිවිපාක ලැබෙන බවයි.

යටත් විජිත ඉන්දියාව සහ නාගයෝ

බ්‍රිතාන්‍ය ජාතිකයන් මුල්වරට ඉන්දියාව යටත් කර ගත් කාලය තරම් දිගු ඉතිහාසයකට හිමිකම් කියන මෙම නීතිය ‘Cobra Effect’ යනුවෙන්ද හැඳින්වේ. බ්‍රිතාන්‍යයෝ ඉන්දියාවේ සිටි විෂඝෝර සර්පයන් පිළිබඳවත්, ඒ අතරින් නාගයන් කිසියම් දෝමනස්සයකට හේතුවක් බවත් දැන සිටියෝය. ඊට පිළියමක් ලෙස නාගයෙක් මරා ගෙනෙන ඕනෑම කෙනෙකුට ත්‍යාගයක් ලබා දීමට ඔවුහු ක්‍රියා කළහ. මෙමඟින් ඔවුහු දුටු තැන නාගයන් මරා දැමීමට ස්වදේශිකයන් තුළ පෙළඹවීමක් ඇති කළෝය. මුල් කාලයේදී මෙය සාර්ථක විසඳුමක් වුවත්, පසුකාලීනව ව්‍යාපාරික චේතනාවෙන් යුත් ඉන්දියානුවන් ලාභදායී ව මුදල් ඉපයීම පිණිසම නාගයන් බෝ කරනු දක්නට ලැබුණි. මේ බව හෙළිදරව් වීමත් සමඟම ඒ වෙනුවෙන් ත්‍යාග පිරිනැමීම නවතනු ලැබිණි. නාගයන් ඇති කිරීමෙන් තවදුරටත් වාසියක් නොමැති බව වටහා ගත් පිරිස් ඔවුන් බෝ කළ නාගයන් මුදා හැරියහ. අවසානයේදී සිදු වූයේ ඉතාමත් අනපේක්ෂිත ලෙස නයි ප්‍රමාණය පෙරටත් වඩා ඉහළ යාමයි. එනම් ළඟා කර ගැනීමට අපේක්ෂා කළ අරමුණට හාත්පසින්ම වෙනස් ප්‍රතිවිපාකයක් අවසානයේදී අත් විය.

මෙම සිදුවීම රසවත් කතන්දරයක් නිර්මාණය කළත්, අනපේක්ෂිත ප්‍රතිවිපාක පිළිබඳ නීතිය මඟින් හෙළිදරව් කෙරෙන ආර්ථික යථාර්තයන් බොහෝ විට ඉතාමත් භයානක ගණයේ ඒවාය.  වෙළඳපළට ඉදිරිපත් කරන නවෝත්පාදනයන් ඉතා හොඳින් සැලසුම් කර අපේක්ෂා කරන ප්‍රතිවිපාක සම්පූර්ණයෙන්ම කණපිට ගැසිමේ හැකියාවක් පවතී. මේ සඳහා දිය හැකි හොඳම උදාහරණය වන්නේ බදු සම්බන්ධයෙනි. මෑතකදී ෆෝර්බ්ස් සඟරාව විසින් ඇමරිකා එක්සත් ජනපදයේ රෙදි සෝදන යන්ත්‍රවලට අදාළ බදු ඉහළ නැංවීම තුළින් ඇති වූ අනපේක්ෂිත ප්‍රතිවිපාක පිළිබඳ දීර්ඝ විස්තර දැක්වීමක් සිදු කර තිබුණි. මෙම බදු පැනවීමේ අරමුණ වී තිබුණේ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කර ගැනීමත් එම කර්මාන්තය තුළ රැකියා අවස්ථා ඉහළ නැංවීමත් ය. එකී කරුණු දෙක සැලකිල්ලට ගනිමින් යමෙක් මෙම බද්දේ ඵලදායිතාවය තක්සේරු කරනු ලැබුවේ නම් සරලවම මෙම බද්ද ඉතාමත් සාර්ථක වූවකි. ඇමරිකා එක්සත් ජනපදයේ රෙදි සේදුම් සහ වියළුම් කර්මාන්තය තුළ නව රැකියා අවස්ථා 1800ක් පමණ නිර්මාණය වී තිබුණි. එම කෝණයෙන් බලන කල මෙය සාර්ථක කතාවක් ලෙස ලියා දැක්විය හැකිය.

රෙදි සෝදන යන්ත්‍රවලට බලපෑ “The Cobra effect”

කෙසේවෙතත්, මෙහිදී සැලකිල්ලට ගෙන තිබුණේ නිෂ්පාදකයා සම්බන්ධයෙන් පමණි.  පාරිභෝගිකයා පිළිබඳ අවදානයක් යොමු නොකෙරුණි. පළමු අනපේක්ෂිත ප්‍රතිවිපාකය වූයේ, දේශීය නිෂ්පාදකයන්ට විකුණුම් පිළිබඳ කිසිදු බියක් හෝ සැකයකින් තොරව සිය රෙදි සේදුම් යන්ත්‍රවල මිල ඉහළ දැමීමට හැකිවන පරිදි ආනයනය කරනු ලබන රෙදි සේදුම් යන්ත්‍රවල මිල ගණන් ඉහළ මට්ටමක පැවතීමයි. දෙවැනි අනපේක්ෂිත ප්‍රතිවිපාකය වූයේ වියළුම් යන්ත්‍රද ඉතාමත් මිල අධික වීමයි.  ඇමරිකා එක්සත් ජනපදයේ රෙදි සේදුම් යන්ත්‍රයක් භාවිත කරන්නේ නම් ඒ සමඟම භාවිත කළ යුතු තවත් භාණ්ඩයක් (අනුපූරක භාණ්ඩයක්) වන වියළුම් යන්ත්‍ර නිෂ්පාදකයෝද උද්ගත වී තිබූ තත්ත්වය යටතේ ලාභය උපරිම කර ගැනීමේ අරමුණින් සිය නිෂ්පාදිතයන්හි මිල ඉහළ නැංවූහ. (මෙකී අනපේක්ෂිත ප්‍රතිවිපාකය ශ්‍රී ලංකාවට බල නොපන්නේ රෙදි වැල් බැඳීම හේතුවෙනි.)

ෆෝර්බ්ස් සඟරාව වාර්තා කරන ආකාරයට මේ තත්ත්වය යටතේ, ඇමරිකානු පාරිභෝගිකයන්ට ඇ.ඩො. බිලියන 1.5ක වියදමක් දැරීමට සිදුව තිබේ. අලුතින් බිහිවූ රැකියා 1800 නිසා යම් කෙනෙකුට මෙම ඉහළ නැංවූ මිල ගණන් යටතේ පාරිභෝගිකයාට දරන්නට සිදු වන වියදම සාධාරණීකරණය කළ හැකිය. යථාර්තය වන්නේ බිහිවූ සෑම රැකියා අවස්ථාවක්ම ඉහළ ගිය පාරිභෝගික වියදමින් ඇ. ඩො. 815,000 කට සමාන වීමය. මෙකී බදු ප්‍රතිපත්තිය තමන්ගේම පාරිභෝගිකයන්ගේ වියදමින් සිය දේශීය වෙළඳපළ ඵලදායීව ආරක්ෂා කරනු ලබයි.

ශ්‍රී ලාංකිකයන් ඇමරිකා එක්සත් ජනපදයේ රෙදි සේදුම් යන්ත්‍රවල මිල ගණන් පිළිබඳ සැලකිලිමත් විය යුත්තේ ඇයි?

ඉහත සිද්ධිය අධ්‍යයනය කිරීම මඟින් අවාසනාවන්ත අනපේක්ෂිත ප්‍රතිවිපාක පිළිබඳවත්, දේශීය පාරිභෝගිකයන්ට මුහුණ පෑමට සිදු වූ අවාසනාවන්ත තත්ත්වය පිළිබඳවත් දැනුවත්භාවයක් ලැබුණත්, සාමාන්‍ය ශ්‍රී ලාංකික ජනතාව ඒ පිළිබඳ වද විය යුත්තේ ඇයි? කෙසේ වෙතත් අප සතුව හිරු එළිය, සබන් සහ රෙදි වැල් තිබේ. ශ්‍රී ලාංකිකයන් ඈත රටක හටගත් මෙකී අනපේක්ෂිත ප්‍රතිවිපාක පිළිබඳ සැලකිලිමත් විය යුත්තේ මෑතක පටන් ඒවා මේ කුඩා දිවයින තුළද සිදු වන බැවිනි. කාලාන්තරයක් පුරාවට බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම පාහේ සුලබම මෙවලම වී ඇත්තේ බදු පැනවීමයි. බදු යන වචනය සුන්දර එකක් වන්නේ එය කිසියම් ලේඛනයක දකින තුරාවටය. එය මැතිවරණ ප්‍රකාශනයක් තුළදී නම් තවදුරටත් මනබඳිනා සුළුය. “අපි අපේ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කරන්නෙමු.” පාඨය බොහෝමයක් ඡන්ද දායකයන්ගේ හදවත් තුළ රැව් පිළිරැව් දෙන්නකි. “ දේශීය පාරිභෝගිකයන්ගේ වියදමින් එසේ කරන්නෙමු” යන ඌණපූරණ වාක්‍යය එහි සඳහන් නොවනමුත්, සඳහන් කළ යුතුම වාක්‍යයකි.

ගෙදර දොර භාණ්ඩ, පෞද්ගලික පරිහරණය සඳහා වන භාණ්ඩ සහ ආහාර සඳහා බදු පනවනු ලැබේ. පාසල් පාවහන්වල සිට ඉදිකිරීම් අමුද්‍රව්‍යවල මිල දක්වා වන විවිධ මට්ටමේ භාණ්ඩල මිල වෙනස්කම් බදු පැනවීම නිසා සිදුවේ. සියලුම රටවැසියන් ඉහළ යන ජීවන වියදම පිළිබඳවත් ඊට හේතුවන ප්‍රධාන සාධකයන් වන බදු පැනවීම පිළිබඳවත් මැසිවිලි නඟති. අවාසනාවකට මෙලෙස බදු පැනවීම මඟින් ඇමරිකානු පාරිභෝගිකයන්ට සේම අපටත් අනපේක්ෂිත ප්‍රතිවිපාකවලට මුහුණ පෑමට සිදුවේ. සතිපතා කරන මිලදී ගැනුම් සඳහා දෙල්කඳ පොළට, ළඟම සුපිරි වෙළඳසැලට හෝ හන්දියේ කඩයට යනෙන සියලු දෙනා මෙකී බදු බලපෑමට ලක් වේ. දේශීයව නිපදවන තක්කාලි වුවත් එය අලෙවි කළ යුතු මිලට වඩා ඉහළ මිලකට අලෙවි වේ. ඒ මන්ද යත් ආනයනය කරන තක්කාලිවල මිල ඉහළ දැමීමත් සමඟ පාරිභෝගිකයන් අහිමි වනු නොදී මිල ගණන් ඉහළ නැංවීමට දේශීය නිෂ්පාදකයාට සිදුවන බැවිනි.

ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වන බදු අනුපාත 45% සිට 107.6% දක්වා විහිදේ. අපේ ආර්ථිකය තුළ බදු ක්‍රියාකාරීත්වය- ඒවා පැනවීමේ මුලික හේතුව, බදු පැනවීමේ ප්‍රතිවිපාක (හොඳින් අවබෝධ කර ගෙන ඇති, නොසලකා හැරිය නොහැකි ඒවා) සහ ඒවා ක්‍රමක්‍රමයෙන් ඉවත් කිරීමට සමත් කඩිනම් ආණ්ඩුවක් සම්බන්ධයෙන් තදබල තක්සේරුවක් යළිත් සිදු කළ යුතුය.

අනීතා වරුසවිතාරන විසිනි
මෙම ලිපිය පෙර පලවුනු “Tariffs and the Law of Unintended Consequences” හි පරිවර්තනයකි.

Hits: 133