මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි අදියරේ ඉදි කිරීම් ඇරඹෙයි

මධ්‍යම අධිවේගී මාර්ග කඩිකම් කිරීමේ ව්‍යාපෘතියේ තෙවන අදියර යටතේ පොතුහැර සිට ගලගෙදර දක්වා අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් කටයුතු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින ආරම්භ විය.

මෙහිදී පොතුහැර සිට ආරම්භ වී රඹුක්කන හරහා ගලගෙදර දක්වා කි.මි.31.7 ක ප්‍රමාණයක ඉදි කිරීම් සිදු වෙයි. මෙම අදියර මංතීරු හතරකින් සමන්විත වෙයි. මෙම කොටසේ ඉදිකිරීමේ කටයුතු, ඉදිකිරීම් අධීක්ෂණය සහ සැලසුම් නිර්මාණ කටයුතු මහා මාර්ග අමාත්‍යංශයේ සෘජු මඟ පෙන්වීම හා උපදෙස් පරිදි මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කරනු ලබයි.

මාස 42 ක් තුළ ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂිත මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු සඳහා ඇස්තමේන්තුගත ඉදිකිරීම් පිරිවැය රුපියල් බිලියන 142.5 කි.

තෙවන අදියරේ ඉදිකිරීම් සඳහා ඉඩම් අත්පත් කර ගැනීමට බිලියන 5ක මුදලක් වැය කර ඇති අතර, තවත් කෝටි 100 ක මුදලක් වැය කිරීමට නියමිතය.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු හා දෙවන අදියරෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

පළමු අදියර යටතේ කඩවත සිට මීරිගම දක්වා කි.මි.37 ක ප්‍රමාණයක් හා දෙවන අදියර යටතේ මීරිගම සිට කුරුණෑගල දක්වා කි.මි.41 ක ප්‍රමාණයක ඉදිකිරීම් කටයුතු සිදු වන අතර එම ඉදි කිරීම් කටයුතු අවසන් වූ පසු අධිවේගී මාර්ග ජාලය කුරුණෑගල දක්වා සම්බන්ධ වේ.

එසේම, කඩිනමින් මධ්‍යම අධිවේගී මාර්ගයේ සිව්වන අදියරේ වැඩ කටයුතු ආරම්භ කිරීමට ද රජය මේ වන විටත් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කටයුතු සිදු කරමින් පවතී.

උපරිම ආර්ථික ඵලදායිතාවයකින් යුතු අධිවේගී මාර්ග පද්ධතියක් ඉදි කිරීම, කොළඹ – නුවර හා අඹේපුස්ස – කුරුණෑගල -ත්‍රිකුණාමලය  මාර්ගයේ පවතින මාර්ග තදබදය අවම කිරීම, ආර්ථික-සමාජීය සංවර්ධනය හා සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම,දේශීය ව්‍යාපාරික ප්‍රජාවගේ හා අපනයන කෘෂි කර්මාන්තයේ ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කිරීම, උතුරු නැගෙනහිර හා කන්ද උඩරට ප්‍රදේශ සංවර්ධනය සඳහා මාර්ග ජාලය පුළුල් කිරීම, ආයෝජකයින්ට ආයෝජන අවස්ථා සඳහා අධිවේගී මාර්ගය තුළින් ඉඩ ප්‍රස්ථා සැලසීම මේ මඟින් අපේක්ෂිතය.

Visits: 158