විදුල්ලංකා පීඑල්සී වෙත රුපියල් මිලියන 56ක සූර්යපැනල ව්‍යාපෘතියක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන විදුල්ලංකා පීඑල්සී සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන විදුල් ඉංජිනියරිං ලිමිටඩ් සමාගම වෙත සිය පළමු වාණිජ වහල මත සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතිය හිමිව ඇතැයි පවසයි.

කිලෝවොට් 515ක ධාරිතාවකින් යුත් මෙම සූර්ය පැනල සවි කිරීම පානදුර කර්මාන්ත කලාපයේ පිහිටි ඩයමන්ඩ් කටර් ලිමිටඩ් කර්මාන්තශාලා පරිශ්‍රයේ වහල මත සිදු කිරීමට නියමිතව ඇත.

විදුල්ලංකා පීඑල්සී සමාගම පවසන ආකාරයට මෙම ව්‍යාපෘතියේ ආයෝජනය රුපියල් මිලියන 56ක් වන අතර මේ හරහා වාර්ෂිකව නිපදවීමට බලාපොරොත්තු වන විදුලිබලය ගිගාවොට් පැය 0.7ක් බවත් සමාගම පවසයි.

1997 වසරේදී පිහිටවුණු විදුල්ලංකා පීඑල්සී සමාගම අද වන විට ජල, ජෛවස්කන්ධ සහ සූර්ය පැනල යන පුනර්ජනනීය බලශක්ති ක්‍රමවේද ඔස්සේ විදුලිය නිපදවීමේ ව්‍යාපෘති සිදු කරමින් සිටියි. එහිදී සමාගමේ සම්පූර්ණ විදුලි ධාරිතාව මෙගාවොට් 36.25කි. එම ව්‍යාපෘති හරහා සිදු කරන සමස්ත බලශක්ති සැපයුම ගිගාවොට් පැය 150.2 කි.

සමාගම යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති සංඛ්‍යාව 12කි. ඉන් ව්‍යාපෘති 10ක් ශ්‍රී ලංකාව තුළ සිදු කරමින් පවතින අතර, ව්‍යාපෘති දෙකක් උගන්ඩාව තුළ ක්‍රියාත්මක වෙයි.

Views: 681