හේමාස් හෝල්ඩිංග්ස් ඉදිරි අවධානය ක්ෂේත්‍ර තුනක් වෙතටලු

හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම ඉදිරියේදී සිය මූලික ව්‍යාපාර වන පාරිභෝගික භාණ්ඩ, සෞඛ්‍යආරක්ෂක සහ භාණ්ඩ ප්‍රවාහන යන ක්ෂේත්‍ර තුන සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට අදහස් කරගෙන සිටින බවත් හෝටල් ඇතුළු ලෙෂර් අංශයේ වෙත යොමු කරන අවධානය සීමා කෙරෙන බවත් පවසයි.

හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම තමන් සතුව තිබූ සෙරෙන්ඩිබ් හොටෙල් පීඑල්සී සමාගමේ කොටස් 55.65%ක ප්‍රතිශතයක් රුපියල් මිලියන 792ක මුදලකට එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් සමාගමේ ආයෝජන හස්තය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී වෙත අලෙවි කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී මේ බව පවසා සිටියි.

හේමාස් හෝල්ඩිංග්ස් සතුව තිබූ මෙම සෙරෙන්ඩිබ් හොටෙල්ස් පීඑල්සී සමාගම ඩොල්ෆින් හොටෙල්ස් පීඑල්සී, හොටෙල් සීගිරිය පීඑල්සී, සෙරෙන්ඩිබ් ලෙෂර් මැනේජ්මන්ට් ලිමිටඩ්, ෆ්‍රන්ටයර් කැපිටල් ලංකා ලිමිටඩ් සහ සැන්චුවරි රිසෝට්ස් ලංකා ලිමිටඩ් යන සමාගම්වල වැඩි කොටස් හිමිකාරීත්වයක් සහිත සමාගමද වෙයි. මෙහිදී බ්‍රවන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී සමාගමේ ඊඩ්න් හොටෙල් ලංකා පීඑල්සී සමාගම මගින් මෙලෙස මිලදී ගෙන ඇත.

ඒ අනුව මින් ඉදිරියට හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම තමන් සතුව තිබූ ලෙෂර් අංශයේ වත්කම් කිහිපයක් පමණක් පවත්වාගෙන යාමට තීරණය කර ඇති බවත්, එහිදී සිය ආයෝජනයන් වන අනන්තරා පීස්හෙවන් තංගල්ල රිසෝට් ද ඊට ඇතුළත් බවත් පවසයි.

මේ අතර හේමාස් සමූහය විසින් දැනටමත් සිය සංචාරක සහ අනෙත් ගුවන්සේවා ව්‍යාපාරය වෙත සිදු කළ ආයෝජනයන්ද අද වනවිට සීමා කර ඇති අතර, තමන් සතුව තිබූ එම ව්‍යාපාරවල වැඩි කොටස් හිමිකම සිය ජ්‍යෙෂ්ඨ කළනාකරණ කණ්ඩායම් වෙත අලෙවි කර ඇතැයිද පැවසෙයි.

හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සතුව තිබූ හේමාස් ට්‍රැවල්ස් සමාගම Acron ට්‍රැවල්ස් ලෙස සන්නාම වෙනසකට ලක් කිරීමද පසුගිය සැප්තැම්බර් මාසයේදී කටයුතු යොදා තිබුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හේමාස් හෝල්ඩිංග්ස් ප්‍රධාන විධායක නිලධාරී කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය, “අපි උපායමාර්ගික තීරණයක් ගෙන තිබෙනවා අපගේ පාරිභෝගික, සෞඛ්‍ය ආරක්ෂක සහ භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍ර වෙත සිදුකරන ආයෝජන වැඩි කරන්න.” යනුවෙන් පවසා සිටියි.

එසේම රටෙහි පිළිගත් මුල් පෙළේ සමාගමක් මෙන්ම ලෙෂර් අංශයේ පිළිගත් සමාගමක් ලෙස එල්ඕඑල්සී සමූහයට අයත් ඊඩ්න් හොටෙල් ලංකා පීඑල්සී සමාගම ඉදිරියේදී සෙරෙන්ඩිබ් හොටෙල්ස් පීඑල්සී සමාගමේ මෙන්ම එහි සේවකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කයුතු කරන බවට තමන්ට විශ්වාසය පවතින බවත් ඇය මෙහිදී පවසා ඇත.

“ඒ වගේම මේ ගනුදෙනුව හේමාස් හෝල්ඩිංග්ස් සමූහයේ කොටසක් හරහා ලැබෙන ආදායම වැඩි කිරීමටත් දායකත්වයක් ලබා දී තිබෙනවා. ඒ හරහා එහි ප්‍රතිලාභ කොටස්හිමිකරුවන් වෙත හිමි කර දෙනවා.” යනුවෙන්ද ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.

විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතය හමුවේ වුවද සිය මූලික ව්‍යාපාරයන් වසරේ පළමු අර්ධයේදී ඉතාමත් හොඳ ප්‍රතිරෝධීතාවක් දැක්වූ බවත්, ඒ පිළිබඳව වන යහපත් බලාපොරොත්තුද එලෙසින්ම වන බවත් ඇය පවසා සිියි. ඒ අනුව ඉදිරි වසරවලදී මෙම ක්ෂේත්‍ර වෙත වැඩි ආයෝජන ප්‍රමාණයක් සිදු කිරීම සඳහා අවධානය යොමු කර ඇතැයිද ප්‍රධාන විධායක නිලධාරිනිය මෙහිදී පවසා ඇත.

Visits: 591