ICC, CIMA සහ DailyFT නම් කළ 2019/20 ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය සමාගම්

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICC Sri Lanka), වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනය (CIMA) සහ ඩේලිඑෆ්ටී පුවත්පත (DailyFT) එක්ව පවත්වන ලද සමීක්ෂණයකට අනුව 2019/20 මූල්‍ය වසර සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය සමාගම් නම් කිරීම ප්‍රකාශයට පත් කර ඇතැයි පවසයි.

ඒ අනුව එහි පළමු ස්ථානය ලංකා බැංකුවටත්, දෙවැනි ස්ථානය කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී සමාගමටත්, තෙවැනි ස්ථානය සිලෝන් බිස්කට්ස් ලිමිටඩ් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමටත් හිමිව තිබේ.

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සහ ලැයිස්තුගත නොවන සමාගම් වෙත විවෘත වූ මෙම වසරේ වඩාත් ගෞරවනීය සමාගමට හිමි සම්මානය පිරිනැමීම හුදෙක් අදාළ සමාගම් එම කාල සීමාව තුළදී පෙන්නුම් කළ මූල්‍යමය කාර්යසාධනය පමණක් පදනම් කරගනිමින් නොව එම සමාගම් විසින් සිය කොටස්හිමිකරුවන්ට, පාරිභෝගිකයන්ට, සේවකයන්ට මෙන්ම පොදුවේ පුළුල් ජනසමාජය වෙතම නිර්මාණය කළ වටිනාකම් මෙහිදී ඇගයීමට ලක් කෙරී ඇත.

මෙම 2019/20 වසරේ වඩාත් ගෞරවනීය සමාගම් ලැයිස්තුවෙහි සිව්වැනි ස්ථානය කොමර්ෂල් බැංකුවට, පස්වැනි ස්ථානය ඩිල්මා සිලෝන් ටී කම්පැනි පීඑල්සී වෙත, හයවැනි ස්ථානය හැටන් නැෂනල් බැංකුව වෙත සහ හත්වැනි ස්ථානය එල්ඕඑල්සී සමාගම වෙත හිමිව තිබේ. එසේම අට වැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා පිළිවෙලින් එන්ඩීබී බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් යන සමාගම් මෙහිදී ගෞරවනීය සමාගම් බවට පත්ව තිබේ.

මීට අමතරව මෙම වසරේදී වඩාත් සම්භාවනීය නම් කිරීම් ලෙසද සමාගම් පහක් නම් කිරීමට සංවිධායකයන් කටයුතු යොදා ඇත. ඒ අනුව එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී, සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී, ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, සම්පත් බැංකුව සහ සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී එම ලැයිස්තුවට ඇතුළත් වෙයි.

2020 වසරේ ජූනි 30 වැනිදා වනවිට මෙහෙයුම් ආරම්භ කර වසර 5ක් සම්පූර්ණ වන, 30%ක හෝ ඊට වඩා වැඩි ශ්‍රී ලාංකික හිමිකාරීත්වයක් සහිත සමාගම් මෙම සම්මාන ප්‍රදානය කිරීමේ තරගය සඳහා සුදුසුකම් ලබා සිටින බව එහි සංවිධායකයන් මීට පෙර පවසා තිබුණි. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ මූලිකත්වයෙන් මෙවැනි සම්මාන ප්‍රදානයක් සිදු කෙරෙන තෙවැනි අවස්ථාවද මෙයයි.

පසුගිය ඔක්තෝබර් 28 වැනිදා මෙම සම්මාන ප්‍රදානය පැවැත්වීමට නියමිතව තිබුණත්, කොරෝනා වසංගතයේ බලපෑම නිසා එය කල් දැමීමට සිදු විය. ඒ අනුව ලබන වසරේ ජනවාරි මාසයේදී මෙම සම්මාන ප්‍රදානය පැවැත්වීමට කටයුතු සම්පාදනය වී ඇතැයි සංවිධායකයෝ පවසති.

Views: 319