බිල් ගේට්ස් පසු කරමින් එලෝන් මස්ක් ලෝකයේ දෙවැනි ධනවතා වෙයි

ටෙස්ලා හි සම නිර්මාතෘවරයා සහ ස්පේස් එක්ස් සමාගම්හි හිමිකරුවා වන සුප්‍රසිද්ධ ව්‍යාපාරික එලෝන් මස්ක් ඊයේ දිනයේදී සිය වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 127.9ක් දක්වා වර්ධනය කරගනිමින් ලෝකයේ දෙවැනි ධනවතා බවට පත්වීමට සමත් වූ බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි.

ඒ අනුව 49 හැවිරිදි මස්ක් එතෙක් ලොව දෙවැනි ධනවතා වූ මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල්ගේට්ස් අභිබවා ගොස් තිබේ. බිල්ගේට්ස්ගේ වත්කම ලෙස දැක්වෙන්නේ ඩොලර් බිලියන 127 කි. කෙසේ වෙතත් බිල්ගේට්ස් 2006 වසරේ සිට මේ දක්වා සිය නමින් ඇති අරමුදල වෙත තම වත්කමින් ඩොලර්  බිලියන 27ක මුදලක් පරිත්‍යාග කර තිබේ.  

බ්ලූම්බර්ග් වෙබ් අඩවියට අනුව මස්ක් මෙලෙස ලොව දෙවැනි ධනවතා බවට පත්වීමට මේ වසර තුළදී පමණක් සිය වත්කම වෙත තවත් එක්සත් ජනපද ඩොලර් බිලියන 100.3ක් එකතු කරගැනීමට සමත් ව ඇත. එහිදී ඔහුගේ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගම වන ටෙස්ලා සමාගමේ කොටස් වටිනාකම් කැපී පෙනෙන ලෙස ඉහළ යාම හේතු විය.

මෙලෙස මස්ක් වසරක් තුළ වර්ධනය කරගත් වත්කම් ප්‍රමාණය එතෙක් මෙතෙක් බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයේ අයෙකු වසරක් තුළ රැස් කරගත් වැඩිම වත්කම් ප්‍රමාණය ලෙසද සැලකෙයි. පසුගිය ජනවාරියේදී මස්ක් එම දර්ශකයේ 35 වැනි ස්ථානයේ පසුවිය.

ඔහුට මෙලෙස වාසනාව ගෙන ආ ටෙස්ලා සමාගමේ වෙළෙඳ පොළ වටිනාකම මේ වනවිට ඩොලර් බිලියන 500 කරා ළගා වෙමින් තිබේ. ඒ අනුව ඔහුගේ සමස්ත වත්කමින් හතරෙන් තුනක් සඳහාද වගකියා ඇත්තේ ටෙස්ලා සමාගමේ කොටස් වටිනාකම හරහා උපයා ගත් ආදායමයි. එය ඔහුට අයත් ස්පේස් එක්ස් නම් අභ්‍යවකාශ ගවේෂණ තාක්ෂණ සමාගමේ කොටස් වටිනාකම මෙන් සිව් ගුණයක් බවත් බ්ලූම්බර්ග් පවසයි.

Views: 964