‘2020 ශ්‍රී ලංකා ආර්ථිකය 3%කට වඩා හැකිලෙනවා’ – මූඩී’ස් පවසයි

ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනයක් වන මූඩී’ස් ආයතනය මගින් ශ්‍රී ලංකාවේ ණය ඉදිරිදැක්ම සම්බන්ධයෙන් සිදු කර ඇති පුරෝකතනයට අනුව 2020 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3%කටත් වඩා වැඩි අගයකින් හැකිලෙන බව පවසා සිටියි. කොවිඩ්-19 වසංගතයේ බලපෑම මේ සඳහා මූලිකවම හේතුව බව ඔවුන් පෙන්වා දෙයි.

එසේම ලබන 2021 වසරේදී ආර්ථිකය ක්‍රමිකව යථාවත්වීමක් සිදුවිය හැකි වුවත් තවදුරටත් අලුත්වෙමින් පවතින කොවිඩ් වසංගතය මෙන්ම ගෝලීය ලොක්ඩවුන් සීමා හේතුවෙන් එයද අවදානමක පවතින බවත් මූඩී’ස් වැඩිදුරටත්  පවසා සිටියි.

“මෙවර අයවැය මගින් දේශීයව සිදු කරන යටිතල පසුකම් සඳහා මුදල් විශාල වශයෙන් වෙන් කර තිබෙනවා. ඒ වගේම දේශීය නිෂ්පාදනය වෙනුවෙන් දිරිගැන්වීම් ලබා දී තිබෙනවා. ඒ හරහා රටෙහි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සඳහා සහයෝගය ලබා දීම මෙන්ම රටෙහි ග්‍රාමීය මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම සිදු වේවි. එවැනි දේ සඳහා තමයි මෙවර රජයේ ආයෝජන වැඩි වශයෙන්ම වියදම් කිරිම සඳහා වෙන් කර තිබෙන්නේ. මීට අමතරව දැඩි ලෙස හානියට පත් වූ සංචාරක කර්මාන්තය වෙතත් ලබා දෙන සහයෝගයන් ඊට ඇතුළත්.” මූඩී’ස් පවසයි.

එහෙත් මෙලෙස සංවර්ධනය මූලික කරගත් අයවැයක් වෙත රජය අවධානය යොමු කරමින් ආර්ථික වර්ධනය යථාවත් කිරීම සහ දරිද්‍රතාව අඩු කිරීම සඳහා රජය යොමු වුවත්, ශ්‍රී ලංකාවේ අපනයන ඉල්ලුම වෙත එල්ල වූ පහර සහ මෙන්ම සංචාරක කර්මාන්තයේ කඩාවැටීම ඊට වඩා කිහිප ගුණයකින්ම ආර්ථිකය වෙත බලපා ඇතැයි මූඩී’ස් පවසයි.

එසේම දේශීය වශයෙන් වන ඉල්ලුමද තවමත් ව්‍යාපාර සහ පාරිභෝගික සහ පාරිභෝගික විශ්වාසයද තවදුරටත් මර්දනය කර තිබෙන බවත් ඔවුන් පවසයි. මීට අමතරව දැනට රජය පවත්වාගෙන යන ආනයන සීමා කිරීම් ඉදිකිරීම් සහ නිෂ්පාදන අංශයේ කර්මාන්ත වෙත බලපා ඇතැයිද මූඩී’ස් පෙන්වා දෙයි.

“අපි බලාපොරොත්තු වෙනවා කොරෝනාවෙන් පසු අවදියේදී රජය වෙත සිය වියදම් අඩු කරමින් සහ අයවැය හිඟය අඩුකිරීම සඳහා වන ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ අභියෝගය වෙත මුහුණ දෙන්න සිදු වේවි කියලා. අතිවිශාල පොලී ගෙවීමක්, රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීමක්, ඒ වගේම සහනාධාර ඇතුළු ගෙවීම් හරහා තවදුරටත් රජයේ වියදම් ඉහළ යමිනුයි තියෙන්නේ.” මූඩී’ස් සඳහන් කරයි.

ඒ අනුව මෙවර 2021 වසර සඳහා ඉදිරිපත් වූ අයවැය මගින් ආර්ථිකය වෙත අර්ථවත් මට්ටමේ වර්ධනයක් ළගා නොකරනු ඇතැයි එම ආයතනය අදහස් කර සිටින බවත් පවසයි. විශේෂයෙන්ම රජයේ වියදම් ඉහළ යමින් පවතිද්දී එය රට තුළ මූල්‍ය පීඩනයක් ඇති කරන බවත් ඒ හරහා තවදුරටත් රටෙහි ණය වර්ගීකරණය ඍණ මට්ටමේම පවතින බවත් එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 354