“ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා අධ්‍යාපන යන අංශවල කැපී පෙනෙන දියුණුවක්” – එක්සත් රාජධානියේ ලගාටම් ආයතනය

ඉකුත් දශකය තුළ  ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා සෞඛ්‍ය යන අංශයන්හි වර්ධනයක් පෙන්නුම් කරන බවත් එය ලංකාවේ සෞභාග්‍යයේ ඉදිරි ගමනට ඉවහල්වී ඇති බවත් ලගාටම් (Legatum) ආයතනය සිය වාර්ෂික වාර්තාවෙන් පෙන්වා දී ඇතැයි ලන්ඩන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ලගාටම් ආයතනය එක්සත් රාජධානියේ විශේෂඥ බුද්ධි මණ්ඩලයකින් සමන්විත වන අතර, එමඟින් ලෝකයේ සියලු රටවල සියලු අංශවල සංවර්ධනය විශ්ලේෂණය කර වාර්ෂිකව වාර්තාවක් ප්‍රකාශයට පත් කරනු ලබයි. මෙම වසරේ විමර්ශන වාර්තාව ඉකුත් 20 දා ප්‍රකාශයට පත් කරමින් ලගාටම් ආයතනයේ සභාපති ඇලන් මැක්කෝමික්  මහතා ලොව රටවල් 147ක් සෞභාග්‍යයතාවයේ උපරිමයට ලඟා වෙමින් සිටින බව සඳහන් කර තිබේ.

එක්සත් රාජධානියේදී මෙම වාර්තාව ප්‍රකාශයට පත් කෙරුනු අවස්ථාවට සහභාගී වූ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය, ශ්‍රී ලංකාව 2009 වසරේ ත්‍රස්තවාදී යුද්ධය අවසන් කිරීමෙන් අනතුරුව අත්කරගත් ස්ථිරසාර සාමාකාමී වාතාවරණය පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රමික වර්ධනයට තීරණාත්මක සාධකයක් වූ බව සඳහන් කර තිබේ. විශේෂයෙන්ම දශක හතකට වඩා වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව නොකඩවා පවත්වාගෙන ගිය නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය පිළිබඳ ප්‍රතිපත්තිද මෙම සෞභාග්‍යයේ වර්ධනයට පදනම වී ඇති බව ඇය සඳහන් කර තිබේ.

ලගාටම් ආයතනයේ ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ආචාර්ය ස්ටීවන් බ්‍රයන් කරුණු දක්වමින්, ලගාටම් සෞභාග්‍යතා දර්ශකය ගෝලීය සෞභාග්‍යතාව තක්සේරු කිරීම සඳහා භාවිතාවට ගන්නා ආකාරය පැහැදිලි කර තිබේ. එම අවස්ථාවට එක්වෙමින් අප්‍රිකාවේ මෝ ඉබ්‍රහිම් පදනමේ නිර්මාතෘ ආචාර්ය මෝ ඉබ්‍රහිම්, ජීවවේදී සහ ලේඛක මැට් රිඩ්ලි සහ එක්සත් රාජධානියේ ජෝර්ජියා තානාපති සොෆීයා කට්සරාවා යන අයද අදහස් දැක්වීය.

ලගාටම් සෞභාග්‍යතා දර්ශකය ගෝලීය දර්ශකයක් වන අතර එය 300කට අධික ජාතික මට්ටමේ දර්ශකයන් භාවිතා කරමින් ප්‍රතිපත්ති මූලික ව්‍යුහයන් 65ක් යටතේ ජාතීන් 167කගේ කාර්යය සාධන ප්‍රතිපත්ති විග්‍රහ කිරීම සිදුකරන අතර ආයතනික, ආර්ථික හා සමාජ සුරක්ෂිතභාවය පදනම් කරගත් ජාතික සෞභාග්‍ය විශ්ලේෂනාත්මකව මැන බැලෙන එකම ගෝලීය දර්ශකය වන බවත් ලන්ඩන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

Views: 119