“2025 වන විට CSE හි ලැයිස්තුගත සමාගම් 500ක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාවයි” – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

කොළඹ කොටස්  හුවමාරුවෙහි (CSE) ලැයිස්තුගත සමාගම් සංඛ්‍යාව වසර 2025 වන විට සමාගම් 500ක් වනු දැකීම රජයේ අපේක්ෂාව බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

පෙරේදා (20දා) පෙරවරුවේදී ඩේලි එෆ්ටී පුවත්පත සහ කොළඹ විශ්වවිද්‍යාලයේ MBA ආදිශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කළ 2021 අයවැය සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කර තිබේ.

ඒ අනුව මෙම ඉදිරිපත් කළ අයවැය හරහා නිර්මාණය කර ඇති පරිසරය තුළින් පෞද්ගලික අංශය වෙත බොහෝ වාසි අත්ව තිබෙන බවත්, ඒ හරහා කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම් සංඛ්‍යාව 2025 වසර වනවිට 500ක් වනු දැකීම රජයේ අපේක්ෂාව බවත් ඔහු පවසා ඇත. විශේෂයෙන්ම ආයෝජන ක්‍රියාකාරකම් සඳහා බැංකුවල වැඩි මැදිහත්වීමක් රජය බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.

“පෞද්ගලික අංශයට ගොඩක් වැඩ කරන්න තිබෙනවා. බැංකු සහ අනෙකුත් අංශ වෙත එම වැඩ කිරීමේ අවස්ථාව අද ලබා දී තිබෙනවා. අපිට මේ ලැයිස්තුගත සමාගම් සංඛ්‍යාව 500ක් වෙනවා දකින්න ඕනේ. ඒ වගේම ණය වෙළෙඳ පොළ තවත් දියුණු වෙනවා දකින්න ඕනේ. ඒ වගේම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සමාගම්, අලුතින් ඇරඹෙන ස්ටාර්ට්අප් ව්‍යාපාර සහ අනෙකුත් ව්‍යාපාර කොටස් හුවමාරුවේ අලුතින් ලැයිස්තුගත වෙන්න ඕනේ. මේ අයවැය හරහා පැහැදිලිවම රජයේ ව්‍යාපාර මිත්‍රශීලී නැඹුරුව පිළිබිඹු කර තිබෙනවා.” රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

2020 සැප්තැම්බර් 30 වැනිදා වන විට කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම් සංඛ්‍යාව 285 කි. එහිදී කාණ්ඩ 20 ක් යටතේ මෙම සමාගම් ලැයිස්තුගත වී තිබේ. මෙම සමාගම් සතු සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 2,595.84 කි.

කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරන ආකාරයට 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ සමාගමක් ලෙස ලියාපදිංචි කෙරුණු හෝ ශ්‍රී ලංකා නීතිය යටතේ පිහිටවුණු වෙනත් ව්‍යවස්ථාපිත සමාගමක්, සංස්ථාපිත හෝ ස්ථාපිත සමාගමක් වෙත සිය ණය හෝ කොටස් වර්ධනය කරගැනීම සඳහා එම  හුවමාරුවේ ලැයිස්තුගත කිරීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් සපුරයි. එසේම එම සමාගම් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ මෙන්ම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රෙගුලාසි වෙත අනුකූලතාව දැක්විය යුතුය.

මෙම සාකච්ඡාව සඳහා කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම් වන ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී සභාපති සුමල් පෙරේරා, එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී ප්‍රධාන විධායක නිලධාරී හනීෆ් යුසුෆ්, හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී ප්‍රධාන විධායක නිලධාරිනී කස්තුරි විල්සන්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, හේලීස් පීඑල්සී සම සභාපති ධම්මික පෙරේරා යන මහත්ම මහත්මීන් සහභාගි වී සිටියහ.

Visits: 476