ටෝකියෝ සිමෙන්ති රු.බි. 2.2 ක ආයෝජනයකින් සිමෙන්ති නිෂ්පාදනය පුළුල් කිරීමට යයි

කොළඹ කොටස්  හුවමාරුවේ ලැයිස්තුගත සමාගමක් වන ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී සමාගම සිය සාමාන්‍ය පෝර්ට්ලන්ඩ් සිමෙන්ති සහ හයිඩ්‍රොලික් සිමෙන්ති නිෂ්පාදන ඒකක පුළුල් කිරීම සඳහා මුදල් ආයෝජනයට සූදානමින් සිටින බව පවසයි.

මෙහිදී ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමගින් ඇති කරගන්නා එකඟතාවක් හරහා මෙම නිෂ්පාදන ඒකක පුළුල් කිරීමට සැලසුම් සකස් කර තිබේ. එහිදී ත්‍රිකුණාමලය, චීන වරායේ පිහිටි සිය පරිශ්‍රය ආශ්‍රිතවම සිය සාමාන්‍ය පෝර්ට්ලන්ඩ් සිමෙන්ති සහ හයිඩ්‍රොලික් සිමෙන්ති නිෂ්පාදනවල නිෂ්පාදන කටයුතු වසරකට මෙට්‍රික් ටොන් මිලියනයක්  බැගින් ඉහළ දැමීම අරමුණ බව සමාගම සඳහන් කරයි.

සමාගමට අනුව මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 12කි (12,000,000) කි. එය ශ්‍රී ලංකා රුපියල් වටිනාකම අනුව රුපියල් බිලියන 2.2 කි (2,280,000,000).

මෙහිදී එම මුදල මූලිකවම සමාගම අභ්‍යන්තරව ජනිත කරගන්නා අරමුදල්වලින් සහ බැංකු ණය මගින් සම්පූර්ණ කර ගැනීමට සමාගම අදහස් කරගනෙ සිටියි.

එසේම ව්‍යාපෘතිය මාස 24කදී සම්පූර්ණ කිරීමටද බලාපොරොත්තු වන බව ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී සමාගම පවසයි.

මේ අතර මෙම මෙහෙයුම් පුළුල් කිරීමේ ව්‍යාපෘතියට හා අදාළව කිසිදු අයිතමයක් ආනයනය කිරීම වෙනුවෙන් සමාගමට කිසිදු ආකාරයට ආදායම් බදු හෝ රේගු බදුවලින් නිදහස් කිරීමක් හෝ සිදුව නොමැති බවද ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

Views: 426