පුනර්ජනනීය බලශක්තිය වෙත ආයෝජනයට ලක්ෂපාන බැටරීස් පීඑල්සී වෙතින් හිමිකම් නිකුතුවක්

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගමක් වන ලක්ෂපාන බැටරීස් පීඑල්සී සමාගම රුපියල් මිලියන 540ක් වටිනා හිමිකම් නිකුත්වක් සිදු කිරීමට සැලසුම් කරමින් සිටින බව  පවසයි. ඒ සඳහා වන අනුමැතිය ඊයේ (නොවැම්බර් 18) වැනිදා පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී හිමිව තිබේ.

විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ආයෝජනය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය වෙනුවෙන් මෙම හිමිකම් නිකුතුව සිදු කරන බව සමාගම පවසයි. එහිදී ඉදිරි මාස 18ක කාලය තුළදී සමාගම මගින් මෙම ක්ෂේත්‍රය වෙත රුපියල් බිලියනයකට අධික ආයෝජනයක් සිදු කිරීමටද බලාපොරොත්තුව සිටියි.

ඒ අනුව මෙම ආයෝජනය සිය සමාගමේ කොටස් හිමිකරුවන් වෙත ඉහළ ප්‍රතිලාභ අත් කර දෙනු ඇතැයි අධ්‍යක්ෂ මණ්ඩලයේ විශ්වාසය වන බවත් පවසයි. අද වන විට සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් 138,010,000 කි.

මෙම කොටස් හිමිකම් නිකුතුව යටතේ ලක්ෂපාන බැටරීස් පීඑල්සී සමාගමේ සාමාන්‍ය කොටස් මිලියන 36ක් (36,000,000ක්) කොටසක් රුපියල් 15 ක වටිනාකමක් අනුව අලෙවි කිරීම සැලසුම වී තිබේ. ඒ අනුව මෙය දැනට නිකුත් කර ඇති සමාගමේ සාමාන්‍ය කොටස් 13කට අලුතින් සාමාන්‍ය කොටස් 12ක් අනුපාතයට වන බව සමාගම පවසයි. මෙහිදී රැස් කිරීමට බලාපොරොත්තුවන මුදල රුපියල් මිලියන 540 කි.

මෙහිදී සමාගමේ මෙම කොටස් හිමිකම් නිකුතුව එහි කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙන බවත්, මීළගට පැවැත්වීමට නියමිත සමාගමේ විශේෂ මහා සභා රැස්වීමේදී ඊට අනුමැතිය ලබා ගන්නා බවත් ලක්ෂපාන බැටරීස් පීඑල්සී සමාගම පවසයි.

1956 වසරේදී වියළි කෝෂ නිෂ්පාදන සමාගමක් ලෙස ඇරඹි ලක්ෂපාන බැටරි සමාගම විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාවගේ අවශ්‍යතාවන් මූලික කරගනිමින් සිය නිෂ්පාදන සිදු කළ බව පවසයි. 

එහෙත් වසර 2012 වන විට විවෘත වෙළෙඳ පොළ ප්‍රතිපත්ති හේතුවෙන් සහ තාක්ෂණික දියුණුව හේතුවෙන් සිය තරගකාරීත්වය අහිමිවී ගිය බවත්, ඒ අනුව වියළි කෝෂ නිෂ්පාදනය අත්හැර දැමීමට සිදුවුණු බවත් සමාගම පවසයි.

කෙසේ වෙතත් 1950 වසරේදී මෙරට පළමු විදුලිබලාගාරය ලෙස පිහිටවුණු ‘ලක්ෂපාන’ බලාගාරයේ නම අනුව 1956 වසරේදී පිහටුවුණු සිය සමාගම තවදුරටත් එම සන්නාමය යටතේ වියළි කෝෂ සහ එල්ඊඩී විදුලි බුබුලු ආනයනය කර බෙදා හැරීමේ නිරතව සිටින බවත් පවසයි.

මේ අතරම සමාගම වියළි කෝෂ නිෂ්පාදනය අත්හැරි දා සිට තිරසාර ව්‍යාපාර ක්‍රමවේදයක් සංවර්ධනය කිරීම පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය තුළ දැඩි අවශ්‍යතාවක් පැවති බව සමාගම සඳහන් කරයි. ඒ අනුව අවම අවදානමක් පවතින අවස්ථාවන් වෙත සිය සමාගමේ ගනුදෙනු විවිධාංගීකරණය කරමින් ආදායම් ප්‍රවාහය දියුණු කිරීම සැලසුම වී තිබේ. ඒ හරහා කොටස්හිමිකරුවන් වෙත ඔවුන්ගේ ආයෝජන වෙත වඩාත් යහපත් ප්‍රතිලාභ අත්කර දීම අදහස බවත් සමාගම පවසයි.

ඒ අනුව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පුනර්ජනනීය බලශක්ති අංශය තුළ පවතින අවස්ථාවන් පිළිබඳව හඳනාගත් බවත් එය රට තුළ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය ඉහළ නැංවීමේ රජයේ ප්‍රතිපත්ති හා ගැලපෙන බවත් ලක්ෂපාන බැටරීස් පීඑල්සී වැඩිදුරටත් සඳහන් කරයි.  

Views: 508