2024 දී සැමට ජලය දෙන්න සැලසුම්

2024 වසර අවසන් වන විට සැමට ජලය ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සැලසුම් කර අවසන් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පැවසීය. කැළණි ගඟ දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය, දෙවන අදියර විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කර තිබේ.

මෙහිදී අගමැතිවරයා සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව ජල පිරිපහදුවේ පොම්ප යන්ත්‍ර ක්‍රියාත්මක කරමින් කැළණි, දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ජල පවිත්‍රාගාරය මහජනතාව වෙත විවෘත කරන ලදී.

මෙම අවස්ථාවේදී ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා විසින් 2021-2025 කාලය සඳහා ජල සම්පාදන මණ්ඩලයේ අරමුණු සහ සැලසුම් විදහා දැක්වෙන සාමූහික සැලසුමද අගමැතිවරයා වෙත පිළිගැන්වීම සිදු වී තිබේ.

සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළට අනුව 2025 වනවිට සැමට පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක වෙයි. කොළඹ සහ ගම්පහ ප‍්‍රදේශයේ ජනතාවට ඉන් ප‍්‍රතිලාභ හිමි වන අතර ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන තිස් දෙදහස් හත්සියයකි.

නව ජල සබඳතා එක්ලක්ෂ විසි දහසකට වැඩි ගණනක් මෙමගින් ලබාදීමටයි නියමිතය. ග‍්‍රාම නිලධාරි වසම් 320ක දා හත් ලක්ෂ පනස් දහසකට වැඩි පිරිසකට මෙමගින් සෙත සැලසෙන බව රජය පවසයි.

Visits: 81