වසරේ මුල් මාස 09 දී සෙලින්කෝ ලයිෆ් ආදායම රුපියල් බිලියන 26 ක් දක්වා 14% කින් ඉහළට

රට තුළ ව්‍යාපාර සඳහා සෘණාත්මක බලපෑමක් පැවතියද, සෙලින්කෝ ලයිෆ් සමාගම 2020 සැප්තැම්බර් 30 වනදායින් අවසන් වන මාස නමයක කාලය තුළදී රුපියල් බිලියන 26 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කිරීමට සමත්වී ඇතැයි පවසයි. එය පෙර වසරේ එම කාලයට සාපේක්ෂව 14% ක වර්ධනයකි.

මෙම කාලය තුළදී සමාගමේ දළ ලිඛිත රක්ෂණ වාරික ආදායම 13.8% කින් වර්ධනය වී රුපියල් බිලියන 15.5 ක්වී තිබෙන අතර, ආයෝජන සහ අනිකුත් ආදායම් 14.3% කින් වර්ධනය වී රුපියල් බිලියන 10.8 ක්වූ බවද සමාගම සඳහන් කරයි.

මෙම කාල සීමාව තුළදී සමාගම විසින් සිය ජීවිත රක්ෂණ අරමුදලට රුපියල් බිලියන 6.7 ක මුදලක් බැර කළ බවත් 2020 සැප්තැම්බර් 30 වනදා වනවිට සෙලින්කෝ ලයිෆ් ජීවිත රක්ෂණ අරමුදලේ වටිනාකම රුපියල් බිලියන 103.6 ක් දක්වා වර්ධනය වී තිබෙන බවත් සමාගම වාර්තා කරයි.

මේ අතර, සලකා බලන කාල සීමාව තුළදී සමාගම විසින් කොටස්කරුවන්ගේ අරමුදලට බැර කර තිබෙන මුදල රුපියල් බිලියන 2.9 කි. ඒ අනුව 2020 තුන්වන කාර්තුව අවසන් වනවිට සමාගමේ කොටස්කරුවන්ගේ අරමුදල රුපියල් බිලියන 35.8 ක් දක්වා වර්ධනය වී ඇත.

මෙම මාස නමය තුළදී සමාගමේ රක්ෂණ ඔප්පුහිමියන්ට රුපියල් බිලියන 9.1 ක ශුද්ධ හිමිකම් සහ ප‍්‍රතිලාභ ගෙවූ බවත් මෙම ප‍්‍රතිලාභ ගෙවීම පෙර වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී 12.8% කින් වර්ධනය වී තිබෙන බව සමාගම සඳහන් කරයි.

සෙලින්කෝ ලයිෆ් සභාපති ආර්. රෙන්ගනාදන් සහ කළමනාකාර අධ්‍යක්ෂ තුෂාර රණසිංහ

2020 මුල් මාස නමය සඳහා සෙලින්කෝ ලයිෆ් රුපියල් බිලියන 5.29 ක බදු වලට පෙර ලාභයක් සහ රුපියල් බිලියන 4.18 ක ශුද්ධ ලාභයක් වාර්තා කර තිබේ. මෙය පෙර වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී පිළිවෙලින් 8.4% ක සහ 6.7% ක පහළ යාමකි. මෙයට ප‍්‍රධාන හේතුව වන්නේ 2019 මුල් මාස නමය තුළදී කොටස්කරුවන්ගේ අරමුදලට බැර කළ රුපියල් බිලියන 3.3 ක මුදලට සාපේක්ෂව මේ වසරේ මුල් මාස නමය සඳහා කොටස්කරුවන්ගේ අරමුදලට බැර කළ මුදල රුපියල් බිලියන 2.9 ක් වීම බවත් සමාගම පවසයි.

මෙම මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක සහ ප‍්‍රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා “අපගේ මූල්‍ය ප‍්‍රතිඵල වලින් පෙන්නුම් කරන්නේ අසීරු අවස්ථාවක වුවත් ව්‍යාපාරික පරිමාව පවත්වාගැනීමට සමාගමට තිබෙන හැකියාව සහ සමාගමේ ආයෝජන උපාය මාර්ගයේ තිබෙන ශක්තියයි,” යනුවෙන් පවසා සිටියි.

“කොවිඞ්-19 වසංගතයෙන් ව්‍යාපාරික ක්ෂේත‍්‍රයට තිබෙන බලපෑම නිසා ලාභ අඩුවනු ඇතැයි අපි බලාපොරොත්තු වුණා. කෙසේ වෙතත්, අපගේ විචක්ෂණශීලී ව්‍යාපාරික ආකෘතිය නිසා මෙවැනි කාලයකදී පවා ජීවිත රක්ෂණ වෙළඳපොළ ව්‍යාප්ත කරන අතරම අපගේ රක්ෂණ ඔප්පුහිමියන්ට සහ කොටස්කරුවන්ට සාධාරණ ප‍්‍රතිලාභයක් ගෙවීමට හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා.” ඒ මහතා වැඩිදුරටත් පවසයි.

2019 දෙසැම්බර් 31 වනදා සිට 2020 සැප්තැම්බර් 30 වනදා දක්වා සෙලින්කෝ ලයිෆ් සමාගමේ සමස්ත වත්කම් ප‍්‍රමාණය රුපියල් බිලියන 27.5 කින් හෙවත් 20.7% කින් වර්ධනය වී රුපියල් බිලියන 160.7 ක් වී තිබේ.

මේ අතර, සමාගමේ ආයෝජන කළඹ 2020 තුන්වන කාර්තුව අවසන් වනවිට රුපියල් බිලියන 27.4 කින් හෙවත් 23.5% කින් රුපියල් බිලියන 144.3 ක් දක්වා වර්ධනය වී ඇත. එසේම, 2020 සැප්තැම්බර් 30 වනදා වනවිට සමාගමේ කොටසකට අදාළ ශුද්ධ වත්කම් වටිනාකම රුපියල් 716.08 ක්වී තිබෙන අතර එය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී රුපියල් 86.23 කින් හෙවත් 13.6% කින් වර්ධනය වී තිබේ.

සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර ඇතැයි පවසයි. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ ක්ෂේත‍්‍රයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

Views: 107