බැංකු අංශයේ පසුබැසීම සහ බස්නාහිර වසා දැමීම නිසා දර්ශක අගයන් පහත වැටේ

අද (නොවැම්බර් 12) වැනිදා කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු ආරම්භයේදීම සම්පත් බැංකුව වාර්තා කළ පහළ මට්ටමේ කාර්යසාධනය හේතුවෙන් බැංකු සහ ප්‍රධාන පෙළේ සමාගම් දර්ශක 1%කට වඩා වැඩි මට්ටමකින් පහළ වැටීමට හේතු වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. මේ අතරම ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාත හුදෙකලා කිරීමට රජය ගත් තීරණයත් සමගින්ම යළි ඇති වූ කොවිඩ්-19 පිළිබඳ කනස්සල්ලද ආයෝජන ආකර්ෂණය අඩු වී දර්ශක පහත වැටීමට හේතුවිය.    

ඒ අනුව මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 6,053.55ත් ඒකක 6,113.44ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 6,090.97 ක් බවට පත්විය. ඊයේ (නොවැම්බර් 11) දිනයට සාපේක්ෂව එය ඒකක 6.96 ක් එනම් -0.11%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී සහ එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සිදු කළ ගනුදෙනු අද පිරිවැටුමෙන් 4%ක් සඳහා දායකත්වයක් ලබා දී තිබේ..

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 62ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 121ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (+8.44), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (+4.14), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+3.75),  බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+3.3), බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (+3.23),  කොමර්ෂල්  බැංකුව පීඑල්සී COMB (-5.04), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (-3.29), සම්පත් බැංකුව පීඑල්සී SAMP (-2.97),  සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-2.88) සහ ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (-2.09) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,403.57 ක අගයක් ගත් අතර, එය ඊයේ (නොවැම්බර් 11) දිනයට සාපේක්ෂව ඒකක 28.98 ක එනම් -1.19%ක පහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.57ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (නොවැ 11දා) වාර්තා කළ රුපියල් බිලියන 3.07ට සාපේක්ෂව 49%ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.66ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 6.84%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 14.44ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 100.80 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 86.36 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 47.48ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 2.78කි. එසේම හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 37.5ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 315ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 20% ක අගයක් ගෙන තිබේ. එසේම නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ ප්‍රවාහන අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 283.3ක සහ රුපියල් මිලියන 283.03ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Views: 235