කොවිඩ්-19 එන්නත සාර්ථක බවට ප්‍රචාරයවීමත් සමග එක්සත් ජනපද කොටස් වෙළෙඳ පොළ දර්ශකත් ඉහළට

කොවිඩ්-19 වසංගතයට එරෙහිව එක්සත් ජනපදයේ Pfizer ඖෂධ නිෂ්පාදන සමාගම සහ BioNTech SE එක්ව සකස් කරන එන්නත සම්බන්ධයෙන් සිදු කළ අලුත්ම අත්හදා බැලීම්වලදී එහි 90%ක සාර්ථකත්වයක් පෙන්නුම් කරන බවට එම සමාගම මගින් ප්‍රචාරය කිරීමත් සමගින්ම එක්සත් ජනපදයේ කොටස් වෙළෙඳ පොළ දර්ශක රැසක්ම ඉහළ ගිය බව වාර්තා වෙයි.

ඒ අනුව පසුගිය සඳුදා දිනයේදී එරට නිව්යෝර්ක් කොටස් වෙළෙඳ පොළ කටයුතු ආරම්භ වූ අවස්ථාවේදී එහි Dow Jones Industrial Average දර්ශකය ඒකක 29,638ක් දක්වා 4.6% කින් ඉහළ නැග තිබේ. එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් 500 දර්ශකයත් ඒකක 3,635 දක්වා 3.6% කින් ඉහළ ගොස් ඇත. මීට අමතරව ෆේස්බුක්, ඇපල්, ඇමසෝන්, නෙට්ෆ්ලික්ස් සහ ගූගල් ඇතුළත් Nasdaq දර්ශකයත් ඒකක 12,043ක් දක්වා 1.2% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

පසුගිය නොවැම්බර් 03 වැනිදා පැවැත්වුණු එක්සත් ජනපද ජනාධිපතිවරණයේ මූලික ප්‍රතිඵලවලට අනුව ජෝ බයිඩන් එරට නව තේරී පත් වූ ජනපතිවරයා ලෙස ප්‍රකාශයට පත් වූ පසුගිය සෙනසුරාදා දිනයෙන් අනතුරුව පළමුවරට කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ඇරඹූ දිනයද ඊයේ දිනය විය. එහෙත් ජනපතිවරණ ප්‍රතිඵලය නොව මෙම එන්නතේ සාර්ථකත්වය පිළිබඳ වූ අනාවරණය මෙලෙස කොටස් වෙළෙඳ පොළ දර්ශක ඉහළ යාමට හේතු වී තිබේ.

Pfizer සමාගම සඳුදා සඳහන් කළ ආකාරයට, තමන් නිපදවූ කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත එහි අලුත්ම අද්හදා බැලීමේදී එම වෛරසය වැළැක්වීම සඳහා 90%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබේ. මෙම එන්නත BNT162b2 ලෙස නම් කෙරී ඇත.

“mRNA පාදක කරගත් මෙම BNT162b2 එන්නත SARS-CoV-2 වෛරසයට එරෙහිව ඉතා හොඳ සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර තිබෙනවා. එහිදී මීට පෙර එම වෛරසය ආසාදනය වූ බවට කිසිදු සඳහනක් නොමැති පිරිසකට මෙම එන්නත ලබා දුන් අතර, පසුගිය නොවැම්බර් 08 වැනිදා සිදු කරන ලද පළමු අතරමැදි සඵලත්ව විශ්ලේෂණයට අනුව එහි සාර්ථකත්වය පෙන්නුම් කර තිබෙනවා. එන්නතේ තෙවැනි සායනික අධ්‍යයනයට අනුව, ස්වාධීන දත්ත විශ්ලේෂක කමිටුවක් (independent Data Monitoring Committee) මගින් බාහිරව සිදුකළ පරීක්ෂාවකදී මේ බව සනාථ වී තිබෙනවා.” Pfizer සමාගම නිවේදනයක් මගින් සඳහන් කර තිබේ.

ඒ අනුව 2020 වසරේදී මෙම එන්නතේ මාත්‍රා මිලියන 50ක් නිපදවීමටත්, 2021 වන විට බිලියන 1.3ක් නිපදවීමටත් සැලසුම් කරගෙන සිටින බව Pfizer සමාගම පවසයි.

Views: 384