සැප්තැම්බරයේදී වෙළෙඳ හිඟය තවත් පහතට

2020  වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයනය හරහා ලැබූ ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,000ක් බවත්, එම මාසයේදී වෙළෙඳ භාණ්ඩ ආනයනය සඳහා වූ වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,525 ක් වූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව ආනයන වියදම සහ අපනයන ආදායම අතර වෙනස අනුව ගණන් ගැනෙන මෙරට වෙළෙඳ ගිණුමේ හිඟය මේ වසරේ සැප්තැම්බර් මාසයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 525ක් ලෙස ගණන් බලා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

කෙසේ වෙතත් එය 2019 වසරේ සැප්තැම්බර් මාසයේදී වාර්තා කළ ඩොලර් මිලියන 757ක වෙළෙඳ හිඟයට සාපේක්ෂවව සැලකිය යුතු පහත වැටීමකි.

විශේෂයෙන්ම 2019 වසරේ සැප්තැම්බර් මාසය හා සැසඳීමේදී 2020 වසරේ සැප්තැම්බර් මාසයේදී ආනයන පහළ මට්ටමක පැවතීමත් අපනයන ඉහළ මට්ටමක පැවතීමත් මීට හේතු වී තිබේ. ඒ අනුව 2019 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2020 වසරේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 4.8%කින් ඉහළ යාමක්ද, වෙළෙඳ භාණ්ඩ ආනයනය -10.9% කින් පහත බැසීමක්ද සිදුව තිබේ.

මේ අතර 2020 වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 7,445ක් ලෙසත්, වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 11,782ක් ලෙසත් සටහන්ව තිබේ. ඒ අනුව වසරේ මුල් මාස 9 සඳහා වන සමස්ත වෙළෙඳ හිඟය එක්සත් ජනපද ඩොලර් මිලියන 4,337ක් ලෙස වාර්තා කර තිබේ. එහෙත්  2019 වසරේ එම කාලපරිච්ඡේදය සඳහා ඩොලර් මිලියන 5,612ක වෙළෙඳ හිඟයක් වාර්තා වී තිබුණි.

මෙහිදී ජනවාරි – සැප්තැම්බර් දක්වා වෙළෙඳ හිඟය අඩුවීම සඳහා ප්‍රධානවම අයිතම කිහිපයක් දායක වූ බවද මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව අපනයන ඉහළ  යෑම යටතේ ප්ලාස්ටික් හා ඒ ආශ්‍රිත නිෂ්පාදිත ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 51.6කින්ද, සුළු කෘෂිකාර්මික නිෂ්පාදිත අදායම මිලියන 31.1 කින්ද, අහාර, පාන වර්ග හා දුම්කොළ ආදායම මිලියන 11.3කින්ද, එළවලු අපනයන ආදායම මිලියන 4.4කින්ද, මුද්‍රණ කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන ආදායම මිලියන 3.2 කින්ද ඉහළ යෑම මෙහිදී සිදුව තිබේ.

එසේම ආනයන අඩුවීම යටතේ, ප්‍රවාහන උපකරණ ආනයන වියදම ඩොලර් මිලියන 154.8 කින්ද, යන්ත්‍ර සූත්‍ර හා උපකරණ වියදම ඩොලර් මිලියන 235 කින්ද, පෞද්ගලික රථ වාහන වියදම ඩොලර් මිලියන 285.1 කින්ද, ගොඩනැගිලි ද්‍රව්‍ය වියදම ඩොලර් මිලියන 378.7 කින්ද, රෙදිපිළි හා රෙදිපිළි උපාංග වියදම ඩොලර්  මිලියන -461.6 කින්ද, ඉන්ධන වියදම ඩොලර් මිලියන 1,025.3 කින්ද අඩුවීම මේ සඳහා දායක වී තිබේ.

Visits: 238