එක්ස්පෝ ලංකා සමූහය වෙත දෙවැනි කාර්තුවේදී රුපියල් බිලියන 49.1ක ආදායමක්

එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහය මේ වසරේ සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ මූල්‍ය වසරේ දෙවැනි කාර්තුවේදී රුපියල් බිලියන 49.1ක සමූහ ආදායමක් හිමි කරගැනීමට සමත්ව ඇතැයි පවසයි. මෙය පසුගිය මූල්‍ය වසරේ එම කාලසීමාව තුළදී සමූහය වාර්තා කළ ආදායමට සාපේක්ෂව 71%ක වර්ධනයකි. එසේම මෙම කාලසීමාවේදී එම සමූහයේ බදු පසු ලාභය රුපියල් බිලියන 4.5ක් ලෙසද වාර්තා වෙයි.

මෙහිදී එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සීහි භාණ්ඩ ප්‍රවාහන (ලොජිස්ටික්) අංශය කැපී පෙනෙන ආදායම් වර්ධනයක් පෙන්නුම් කර ඇත. විශේෂයෙන්ම දෙවැනි කාර්තුව තුළදී හදිසි සැපයුම් සේවා යටතේ උතුරු ඇමෙරිකානු වෙළෙඳ පොළ වෙත ගුවන් මගින් භාණ්ඩ සැපයීමේ ඉල්ලුම ඉහළ යාම මෙලෙස සිය සමූහයේ ආදායම ඉහළ යෑමට හේතුව බව එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී පවසයි.

ලොව පුරා ව්‍යාප්තවී ඇති කොවිඩ්-19 වසංගතය පාලනය සඳහා අත්‍යවශ්‍ය හදිසි වෛද්‍ය සැපයුම් මෙන්ම පෞද්ගලික ආරක්ෂක ඇඳුම් කට්ටල සැපයීම සඳහා මෙලෙස ඉල්ලුම ඉහළ ගොස් ඇත.

“ලොව ආර්ථිකයන් ක්‍රමයෙන් විවෘත වීමත් සමගින්ම, කාර්තුව අවසන් වන විට සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු යළිත් යථාවත් වීම ආරම්භ කෙරුණා. එහිදී පෞද්ගලික ආරක්ෂක උපාංග සඳහා වනව ඇනවුම් ඉහළ යාම සිදු වුණා. කෙසේ වුවත් මෙවැනි වාතාවරණයක් යටතේ නව අවස්ථාවන් වෙත සේවා සැපයීමටත් සමාගම ඉදිරිපත්ව සිටිනවා.” එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පවසයි.

විශේෂයෙන්ම ගුවන් ගමන් ගාස්තුවල සිදු වූ ඉහළ යාම පළමු කාර්තුවේදී ඇති වූ ගුවන් ගමන් ධාරිතාවේ පහත වැටීම මෙන්ම දෙවැනි කාර්තුවේදී එය තවදුරටත් පහත වැටීම මඟහැරවුණු බවත් සමාගම පවසයි. ඒ අනුව එහි ප්‍රතිඵල ලෙස සමාගමේ භාණ්ඩ ප්‍රවාහන අංශය පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව රුපියල් බිලියන 48ක ආදායමක් ඉපැයීමට සමත්ව ඇති බවත් එය 76 %ක වර්ධනයක් බවත් සමාගම පවසයි.

කෙසේ වෙතත් එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් සමූහයේ ලෙෂර් අංශයේ ක්‍රියාකාරීත්ව මෙම කාර්තුව තුළදී තවදුරටත් කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ. ගුවන් තොටුපොළ වසා තැබීම සහ ගෝලීය සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක වීම ඊට හේතු වී තිබේ. මීට අමතරව සමූහයේ ආයෝජන අංශය මෙම කාලසීමාවේදී රුපියල් මිලියන 635ක ආදායමක් හිමි කරගැනීමට සමත්ව ඇත.

Views: 474