COVID-19 එන්නතේ සාර්ථකත්වය පිළිබඳ ආයෝජකයන් අතර මිශ්‍ර ප්‍රතිචාර

අද (නොවැම්බර් 10) වැනිදා කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු සඳහා මූලිකවම කොවිඩ්-19 වෛරසයට එරෙහිව සොයා ගත් එන්නතේ සාර්ථකත්වය පිළිබඳවූ පුවත වැඩි වශයෙන් බලපෑ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. ඒ අනුව එම තත්ත්වය ආයෝජකයන් අතර මිශ්‍ර ප්‍රතිචාර දැක්වීමක් පෙන්නුම් කිරීමට හේතු විය.

එහිදී කොවිඩ්-19 නිසා මෙතෙක් ලාභ ලැබූ සමාගම්හි කොටස් අලෙවි කිරීමක් දැකගත හැකි වූ අතර, ඉදිරියේදී යළිත් ඉහළ යා හැකි බවට අදහස් පැවැති හෝටල් අංශයේ කොටස් වටිනාකම් කැපී පෙනෙන ලෙස ඉහළ යාම සිදු විය. එසේම මහ බැංකුව විසින් බැංකු හරහා ලබා ගත් ණය වෙනුවෙන් වූ පමා සහන කාලය දිගු කිරීම සහ යළිත් රට සාමාන්‍ය තත්ත්වයට පත්වීමේ බලාපොරොත්තුද සමග බැංකු කොටස් මිලදී ගැනීම් ඉහළ යාමක් සිදු වුණූ බවත් තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

ඒ අනුව මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 6,082.30ත් ඒකක 6,169.25ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 6,095.89 ක් බවට පත්විය. ඊයේ (නොවැම්බර් 09) දිනයට සාපේක්ෂව එය ඒකක 18.61 ක් එනම් -0.30%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේදී සමස්ත පිරිවැටුම සඳහා සාමාන්‍ය ගනුදෙනු පමණක් දායකත්වය ලබා දී තිබේ. කිසිදු පෙර සාකච්ඡා කර පැමිණි එකඟතාවකට අනුව සිදු කළ ගනුදෙනු අද නොවීය.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 96ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 104ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ  කොමර්ෂල් බැංකුව පීඑල්සී COMB (+7.56), එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී SPEN (+4.38), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+3.93),  හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (+3.42), එයිට්කන් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩිංග්ස් පීඑල්සී AHUN (+3.42), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-9.87), හේලීස් පීඑල්සී HAYL (-9.45), සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී SINS (-6.81),  ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී DIPD (-6.15) සහ ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-5.28) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,411.60 ක අගයක් ගත් අතර, එය ඊයේ (නොවැම්බර් 09) දිනයට සාපේක්ෂව ඒකක 31.91 ක එනම් +1.34%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.61ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (නොවැ 09දා) වාර්තා කළ රුපියල් බිලියන 5.52ට සාපේක්ෂව 35%ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.66ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 6.77%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 48.95ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 272.27 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 223.32 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 47.0ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 5.02කි. එසේම ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 60.86ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් බිලියන 1.08ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 30% ක අගයක් ගෙන තිබේ. එසේම ප්‍රවාහන සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් බිලියන 1.00ක සහ රුපියල් මිලියන 620ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 176