2021 මූල්‍ය වසරේ පළමු අර්ධයේදී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් ලාභය අඩුවෙයි

2020/2021 මූල්‍ය වර්ෂයේ දෙවැනි කාර්තුවේදී සහ පළමු අර්ධයේදී සිය ලාභය යම් ප්‍රමාණයකින් අඩුවී ඇතැයි මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි. විශේෂයෙන්ම කොවිඩ්-19 නිසා සිය හෝටල් ඇතුළු ලෙෂර් අංශයේ සමාගම් වෙත එල්ල වූ බලපෑම ඊට හේතුව බව සමාගම සඳහන් කරයි.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහය මගින් ඊයේ (නොවැම්බර් 05) දිනයේ නිකුත් කළ සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වන අතරමැදි මූල්‍ය ප්‍රකාශනය හරහා මෙම කරුණු සඳහන් කර සිටියි.

ඒ අනුව 2020/2021 මූල්‍ය වසරේ දෙවැනි කාර්තුවේදී එම සමූහයේ ආදායම රුපියල් බිලියන 32.39ක් ලෙස සටහන් වෙයි. එය ඊට පෙර වසරේ එම කාලසීමාවේදී ඉපැයූ ආදායම හා සාපේක්ෂව 4%ක පසු බැසීමකි. එසේම සමූහයේ සමුච්චිත ආදායම මෙම මූල්‍ය වසරේ පළමු අර්ධයේදී රුපියල් බිලියන 53.99ක් ලෙස සටහන් වන බවත් එය පෙර වසරේ එම කාලයට සාපේක්ෂව 17%ක අඩුවීමක් බවත් සමාගම පවසයි.

මේ අතරම 2020/2021 මූල්‍ය වර්ෂයේ දෙවැනි කාර්තුවේදී සමූහයේ පොලී වියදම්, බදු, ක්ෂයවීම් සහ ක්‍රමක්ෂ ගැලපීමට පෙර දෙවැනි කාර්තුවේදී සිදු කළ ආදායම් ඉපැයීම්  (EBITDA) රුපියල් බිලියන 3.32ක් ලෙස සටහන්ව ඇත. එහෙත් එයද පෙර වසරේ එම කාලයට සාපේක්ෂව 18%ක අඩුවීමකි.

එසේම ලෙෂර් අංශය තුළ පොලී වියදම්, බදු, ක්ෂයවීම් සහ ක්‍රමක්ෂ ක්‍රියාවලියට පෙර මෙම මූල්‍ය වසරේ දෙවැනි කාර්තුවේදී ඉපැයූ ආදායම් රුපියල් බිලියන 1.18 ක අලාභයක් සටහන් කර ඇත. එසේම එය මෙම මූල්‍ය වසරේ පළමු කාර්තුවේදී රුපියල් බිලියන 2.6 ක අලාභයක් ලෙස පෙන්වා දී තිබේ.

මෙරට ගුවන් තොටුපොළ කටයුතු තවදුරටත් වසා තැබීම මෙලෙස සිය ලෙෂර් අංශය වෙත දරුණු බලපෑම් එල්ල වීමට හේතු වී තිබෙන බවද සමාගම පවසයි.

මේ අතර දෙවැනි කාර්තුව සඳහා වන සමූහයේ බදු පෙර ලාභය රුපියල් මිලියන 636 කි. එය පසුගිය මූල්‍ය වසරේ එම කාලසීමාවේ ලැබූ බදු පෙර ලාභයට සාපේක්ෂව 76%ක අඩුවීමකි. එසේම මෙම වසරේ පළමු අර්ධය සඳහා එය රුපියල් බිලියන 1.8ක අලාභයක් ලෙස සටහන් වන අතර පසුගිය වසරේ එම කාලසීමාවේදී එය රුපියල් බිලියන 3.96 ක් වී තිබේ.

කෙසේ වෙතත් සමූහය සතු ප්‍රවාහන, පාරිභෝගික භාණ්ඩ, සිල්ලර වෙළෙඳාම සහ මූල්‍ය සේවා මෙම දෙවැනි කාර්තුවේදී සහ පළමු අර්ධයේදී යම් සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව ලෙෂර් කර්මාන්ත අංශය හැර අනෙක් අංශ හරහා සමූහය මගින් පොලී වියදම්, බදු, ක්ෂයවීම් සහ ක්‍රමක්ෂ ක්‍රියාවලියට පෙර මෙම මූල්‍ය වසරේ දෙවැනි කාර්තුවේදී ඉපැයූ ආදායම් රුපියල් බිලියන 4.5ක් දක්වා 15% කින් ඉහළ ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සීහි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන් මහතා, “ප්‍රවාහන, පාරිභෝගික භාණ්ඩ, සිල්ලර වෙළෙඳාම සහ මූල්‍ය සේවා කර්මාන්ත පළමු කාර්තුවේ අවසානයේ සිටම යම් වර්ධනීය ලක්ෂණයක් පෙන්නුම් කළා. එය පසුගිය මැයි මාසයේදී රටෙහි ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව ඒවායේ ව්‍යාපාර මෙහෙයුම් යථාවත් වනු ඇතැයි බලාපොරොත්තු වූ වේගයටත් වඩා වේගයෙන් සිදු වූ වර්ධනයක් විදියටත් හඳුන්වන්න පුළුවන්.” යනුවෙන් සඳහන් කරයි.

Views: 176