කටුනායක ආයෝජන කළාපය සහ ආර්ථික මධ්‍යස්ථාන මෙහෙයුම් අඛණ්ඩව

කොරෝනා වසංගතයේ බලපෑමක් තිබුණද කටුනායක ආයෝජන කලාපයේ මෙහෙයුම් මෙන්ම ආර්ථික මධ්‍යස්ථාන මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගනෙ යාම වැදගත් බව ජනපතිවරයා අවධාරණය කරයි. ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය ඊයේ රැස්වූ අවස්ථාවේ දී ජනාධිපතිතුමා විසින් මේ උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව කටුනායක ආයෝජන කලාපයේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට සියලු පියවර ගන්නා ලෙස ජනපතිවරයා උපදෙස් ලබා දී තිබේ. එහිදී පෞද්ගලික රෝහල්වල දායකත්වය ඇතිව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා නාවික හමුදාවේ අධීක්ෂණය යටතේ වෙළෙඳ කලාපය ආශ්‍රිත PCR පරීක්ෂණ අහඹු ලෙස සහ අඛණ්ඩව කරගෙන යාමට ද ජනපතිවරයා පැවසූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එසේම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාමට පමණක් සීමා කිරීමට තීරණය කෙරී ඇත. එහිදී සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සහ PCR පරීක්ෂණ අඛණ්ඩව කරමින් මනා සුපරීක්ෂණයක් සහිතව වෙළෙඳ කටයුතු සිදු විය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

මේ අතර, එළවළු, පළතුරු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග රැගෙන දිස්ත්‍රික්ක අතර ගමන් කරන ලොරි රථ සඳහා ඇඳිරි නීති බලපත්‍ර අවශ්‍ය නොවන බවටද තීරණයක් ගෙන තිබේ.

අද වනවිට කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවට හඳුනාගත් 84,000ක් මේ වනවිට දිවයින පුරා නිවාස 31,457ක ස්වයං නිරෝධායනයට ලක් කෙරෙමින් තිබෙන බවත් මෙහිදී අනාවරණය කෙරිණි. බස්නාහිර පළාත තුළ එම සංඛ්‍යාව නිවාස 13,911ක් වන අතර නිරෝධායනය වන පරිස 40,676 කි.

මෙලෙස නිරෝධායනය වෙමින් සිටින පිරිස ඇඳිරි නීතිය ඉවත් කළ පසුවද විධිමත්ව අධීක්ෂණය කළ යුතු බවද ජනපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

එසේම ආසාදිතයන් සමාජයෙන් හමු වුවහොත් ඔහුගේ හෝ ඇයගේ ආශ්‍රිතයන් සහ ඔවුන් අයත් ප්‍රදේශ පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතු අතර, අවශ්‍ය වුවහොත් හුදකලා ප්‍රදේශ ලෙස පවත්වාගෙන යන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. වතු සහ මහල් නිවාස කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වී තිබේ.

මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහූ සහ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ එක්ව තිබේ.

Visits: 97