මහ බැංකු ඇස්තමේන්තුව වෙළෙඳ පොළ ආයෝජක ආකර්ෂණය ඉහළ දමයි

අද දිනයේදී (නොවැම්බර් 03) සිදුවුණු කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු ඊයේ (නොවැම්බර් 02) හා සැසඳීමේදී ඉතා ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කළ කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී විශේෂයෙන්ම මහ බැංකුව මගින් නිකුත් කළ 2020 සහ 2021 වසර සඳහා වන දළ ජාතික නිෂ්පාදනයේ සුභවාදී ඇස්තමේන්තුව මේ සඳහා හේතු වූ බව සඳහන් වෙයි.

කෙසේ වෙතත් මෙහිදී වැඩි වශයෙන්ම අඩු වටිනාකම්වල කොටස් මිලදී ගැනීම සඳහා ආයෝජක උනන්දුව ඉහළ ගිය අතර ඇතැම් සමාගම්වල වටිනාකම් දිනය අවසානයේදී ඉහළ  යාමක් පෙන්නුම් කෙරිණි. කෙසේ වෙතත් බැංකු අංශය පිළිබඳ වන ආයෝජක ආකර්ෂණය මන්දගාමී බව කොටස් තැරැව්කාර සමාගම් සඳහන් කරයි.   

ඒ අනුව මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,733.42ත් ඒකක 5,857.51ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,843.27 ක් බවට පත්විය. ඊයේ (නොවැම්බර් 02) දිනයට සාපේක්ෂව එය ඒකක 126.69 ක් එනම් +2.27%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව සිදුවුණු ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ගනුදෙනුව පිරිවැටුම සඳහා 4% ක දායකත්වයක් ලබා දී ඇත.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 178ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 25ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී  EXPO (+15.25), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+11.71), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+7.57),  ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (+5.38), හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (+4.24), ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට්ස් (සිලෝන්) පීඑල්සී ASPH (-0.86), ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී ASCO (-0.39),  නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී CSF (-0.31),  එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ALLI (-0.18)  සහ කලම්බු සිටි හෝල්ඩිංග්ස් පීඑල්සී PHAR (-0.18) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,294.39 ක අගයක් ගත් අතර, එය ඊයේ (නොවැම්බර් 02) දිනයට සාපේක්ෂව ඒකක 31.45 ක එනම් +1.39%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.71ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (නොවැ 02දා) වාර්තා කළ රුපියල් බිලියන 1.25ට සාපේක්ෂව 116%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.55ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 10.70%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 63.02ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 440.30 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 377.3 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 45.78ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එක්ස්පෝ හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 6.41කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 180.23ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 879ක් සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 32% ක අගයක් ගෙන තිබේ. එසේම නිෂ්පාදන භාණ්ඩ සහ ප්‍රාග්ධන භාණ්ඩ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 814ක සහ රුපියල් මිලියන 399ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Views: 277