ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 පාලන ක්‍රියාදාමයන් ලෝක බැංකුවේ ප්‍රශංසාවට

මෙහිදී අදහස් දක්වා ඇති ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හදද්-සර්වෝස් මහතා, ශ්‍රී ලංකාවට සහයෝගය දැක්විය හැකි හොඳම ආකාරයට සහය පළ කරමින් “මෙම අර්බුදය යහපත වෙනුවෙන් පරිවර්තනය කරගන්නේ කෙසේදැයි අපි බලමු” යනුවෙන්ද පවසා තිබේ.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව කටයුතු කරන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා රජයට ප්‍රශංසාව පුද කරන බව මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාවේ ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හදද්-සර්වෝස් මහතා ප්‍රකාශ කළ බව අගමැති කාර්යාලය පවසයි.

ෆාරිස් හදද්-සර්වෝස් මහතා ඊයේ (2020.11.03) අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා  හමුවූ අවස්ථාවේදී මේ බව පවසා තිබේ. ඒ මහතා සමඟ මාලදිවයිනේ සහ ශ්‍රී ලංකාවේ ලෝක බැංකු කළමණාකරු චියෝ-කන්ඩා මහත්මියද මෙම අවස්ථාව සඳහා එක්ව ඇත.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර ඇති “සබඳතාවට කෘතඥතාව” පළ කරමින් හදද්-සර්වෝස් මහතා ශ්‍රී ලංකාව කොවිඩ්-19 වසංගතය පාලනය කරන ආකාරය ගැන පමණක් නොව පසුගිය මැතිවරණය ජයග්‍රහණය සම්බන්ධයෙන්ද අගමැතිවරයාට‍ සුබ පැතුම් එක් කර තිබේ.

කොවිඩ්-19 වසංගත තත්වයෙන් ඉක්මණින් ශ්‍රී ලංකාවෙන් පහව යාමට ප්‍රාර්ථනා කරන බව ෆාරිස් හදද්-සර්වෝස් මහතා එහිදී පැවසූ බව අගමැති මාධ්‍ය අංශය පවසයි.

මේ අතර, වසර ගණනාවක් පුරා ලෝක බැංකුව ශ්‍රී ලංකාව සමඟ පවත්නා සමීප සහයෝගීතාවයට ස්තූතිය පුද කළ ශ්‍රී ලංකා නියෝජිතයෝ නව රජය එම සම්බන්ධතාවය අඛණ්ඩව පවත්වාගෙන යන බවට ද සහතික වී තිබේ.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට විවිධ ආධාර වැඩසටහන් ඔස්සේ ලබාදුන්  දායකත්වය අගය කිරීමද ‍මෙහිදී සිදු ව ඇත. එසේම මෙම වසර මුලදී වසංගතය ප්‍රථම වරට ව්‍යාප්ත වී ගිය අවස්ථාවේ ආධාර ලබා දීමට ඉදිරිපත් වූ පළමු ආධාර දෙන ආයතනය වූයේද ලෝක බැංකුව බව ජනපති කාර්යාලය සඳහන් කරයි.

මෙහිදී අදහස් දක්වා ඇති ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හදද්-සර්වෝස් මහතා, ශ්‍රී ලංකාවට සහයෝගය දැක්විය හැකි හොඳම ආකාරයට සහය පළ කරමින් “මෙම අර්බුදය යහපත වෙනුවෙන් පරිවර්තනය කරගන්නේ කෙසේදැයි අපි බලමු” යනුවෙන්ද පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා පිළිබඳවද ඒ මහතා විමසා ඇති අතර, එහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සහ ඉන් පසුව ආර්ථික සංවර්ධනය, මං මාවත්, පානීය ජලය, සනීපාරක්ෂාව සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට රජය ප්‍රමුඛතා ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබේ.

කෘෂිකාර්මික ක්ෂේත්‍රය පිළිබඳව ද අග්‍රාමාත්‍යතුමා හා ලෝක බැංකු අධ්‍යක්ෂතුමා සාකච්ඡා කර ඇති අතර, කෘෂිකර්මාන්තයේ නියැලෙන ගෝවීන් සඳහා අගය එකතු කළ, ශ්‍රී ලාංකේය සන්නාමය සහිත නිෂ්පාදන ජාත්‍යන්තර වෙළදපොළට හඳුන්වාදීමේ හැකියාව සහ ඊට සහය පළ කිරීම ගැනද මෙහිදී නියෝජිත පිරිස සාකච්ඡා කර තිබේ.

එසේම ශ්‍රි ලංකාවේ ආයුර්වේද නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වශයෙන් විශාල ඉල්ලුමක් පවතින බව ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හදද්-සර්වෝස් මහතා හෙළි කළ බව අගමැති මාධ්‍ය අංශය පවසයි.

මෙම අවස්ථාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා හා අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා ද එක්ව සිටි බවත් සඳහන් වෙයි.

Visits: 109