කැන්රිච් ෆිනෑන්ස් පෞද්ගලික නිකුතුවක් හරහා රුපියල් බිලියන 2ක් රැස් කිරීමට යයි

කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම සිය මූලික ප්‍රාග්ධන අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමේ අරමුණින් පෞද්ගලික හිමිකම් නිකුතුවක් සඳහා සූදානමින් සිටින බව  පවසයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බැංකු නොවන මුදල් සමාගම් මගින් 2020 දෙසැම්බර් 31 වැනිදා අවසන් වීමට පෙරාතුව සම්පූර්ණ කරගත යුතු ප්‍රාග්ධන අවශ්‍යතාවට අදාළව මෙම නිකුතුව සිදු කෙරෙන බව සමාගම සඳහන් කර සිටියි.

මහ බැංකුවේ සඳහන් කිරීමට අනුව 2021 ජනවාරි 01 වැනිදා වන විට මෙම ලියාපදිංචි මුදල් සමාගම් රුපියල් බිලියන 2ක මූලික ප්‍රාග්ධනයක් සම්පූර්ණ කරගත යුතුව තිබේ. ඒ අනුව කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් වෙත සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් සහ පිරිමුදවිය නොහැකි, අසම්මුචිත වරණීය කොටස් නිකුතුවක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය සතියේදී අනුමැතිය ලබා දී තිබේ.

එහිදී මෙම සාමාන්‍ය කොටස් නිකුතුව හරහා රුපියල් බිලියන 1ක මුදලක් සපයා ගැනීමටත්,  වරණීය කොටස් හරහා තවත් රුපියල් බිලියන 1ක මුදලක් සපයා ගැනීමත් අරමුණ වී තිබේ. ඒ අනුව මෙම මුදල් සම්පාදනයත් සමගින් සමාගමේ මූලික ප්‍රාග්ධනය රුපියල් බිලියන 3ක් දක්වා ඉහළ යන බව සමාගම පවසයි.

1971 වසරේදී පිහිටවුණු කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම 2010 වසරේදී යළිත් දියත් කිරීමක් සිදු විය. එතැන් සිට වසර හයක කාලයක් ඇතුළතදී සමාගම සිය වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 600 සිට රුපියල් බිලියන 12 දක්වා වර්ධනය කරගැනීමට සමත්ව ඇතැයිද පවසයි. එසේම අද වනවිට එක් ශාඛාවක සිට ශාකා 36ක් දක්වා ව්‍යාප්ත වෙමින් සේවකයන් 1,000ක් දක්වා වර්ධනය කරගැනීමට හැකිව ඇත.

මේ අතර ලබන වසරේදී කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම සිය 51 වැනි සංවත්සරය සමරන බවත්, මෙම කොටස් නිකුතුවත මේ වසර අවසන්වීමට පෙරාතුව සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවත් පවසා සිටියි. එසේම දැනට රට තුළ පවතින ආර්ථික තත්ත්වය එම කාලය වනවිට යහපත් තත්ත්වයට  පත්වී සමාගම සිය වර්ධනයේ මාවතට පත්වීමට සහාය දක්වනු ඇතැයිද සමාගම විශ්වාසය පළ කර සිටියි.

Views: 221