හේලීස් සේවකයන්ට හෝටලයේ සිට රාජකාරි කිරීමේ අවස්ථාවක්

හේලීස් සමූහයට අයත් ව්‍යාපාරයන්හි සේවයේ නිරත 31,000 කට අධික සේවකයන් සඳහා එම සමූහයටම අයත් රට පුරා පිහිටි ඕනෑම හෝටල්වල සිට රාජකාරි කිරීමේ අවස්ථාවක් උදා කරදීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇතැයි පවසයි. යම් විශේෂ ගාස්තු ක්‍රමවේදයක් යටතේ මෙම අවස්ථාව ලබා දී ඇත.

ඒ අනුව ‘හෝටලයේ සිට වැඩ කිරීම’ ලෙස මෙය නම් වී තිබේ. ශ්‍රී ලාංකික සමාගමක් සිය සේවකයන් සඳහා මෙවැනි අවස්ථාවක් ලබා දුන් පළමු අවස්ථාව ලෙසින්ද මෙය සැලකෙයි. ගත වන මේ සතියේ යෙදෙන ‘’ලෝක සංචාරක සතිය’ වෙනුවෙන් මෙම අවස්ථාව උදා කර දී තිබේ.

විශේෂයෙන්ම අභ්‍යන්තර සංචාරක කර්මාන්තය තවදුරටත් ජනතාව තුළ ප්‍රචලිත කිරීම මෙහි තවත් එක් අවස්ථාවක් වී තිබේ. මෙහිදී එය රාජකාරි නිවාඩුවක් ලෙසින් සැලකෙයි. කොළඹ පිහිටි කිංග්ස්බරි හෝටලයද ඇතුළුව හේලීස් ලෙෂර් සමාගමට අයත් අමායා රිසෝට් තුළ මෙම නිවාඩුව ගත කිරීමේ අවස්ථාව හේලීස් සේවකයන්ට හිමි වෙයි.

එහිදී එම පිරිසට හෝටල් තුළ සිට රාජකාරි කිරීම සඳහා අවශ්‍ය සියලුම තාක්ෂණික පහසුකම්ද සැලසීමටද සමාගම පියවර ගෙන ඇතැයි පවසයි.

මේ තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වන හේලීස් සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ මහතා, “ක්ෂේත්‍ර 16ක් පුරා විහිදුණු අපගේ කණ්ඩායම් තුළ පවතින අභිප්‍රේරිත සහ නොසැලෙන සුළු දාකත්වය අගය කිරීමක් ලෙස මෙම අවස්ථාව උදා කර දී තිබෙනවා. එහිදී සේවකයන් තුළ නවෝත්පාදන මානසිකත්වයක්, ධනාත්මක ආකල්ප දියුණු කිරීමටත් මේ අවස්ථාව උදව්වක් වේවි. ඒ වගේම මේ සේවකයන්ගේම දායකත්වයෙන් ගොඩනැගුණු ශක්තිමත් සන්නාමය සතු හෝටල් තුළ ඔවුන්ට අත්දැකීම් ලබා ගැනීමට මෙය අවස්ථාවක් කරගන්නවා.” යනුවෙන් පවසා සිටියි.

මේ අතර සිය සේවකයන් සඳහා මෙම අවස්ථාව සලසා දෙන අතරතුරදීම හේලීස් ලෙෂර් හි කිංග්ස්බරි සහ අමායා රිසෝට්ස් ඇන්ඩ් ස්පාස් තුළදී පාරිභෝගිකයන් වෙත ඉතාමත් ආකර්ෂණීය මිල ගණන් යටතේ සේවා සැලසීමටද පියවර ගෙන ඇතැයිද පවසා සිටියි.

හේලීස් සමූහයේ හිමිකාරීත්වය මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට අයත්ය. හේලීස් ලෙෂර් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම යටතේ The Kingsbury හෝටලය, Amaya Langdale, The Oliphant, Amaya Hills, Amaya Lake, Amaya Bunglow, Amaya Signature, Amaya Beach, Amaya Kuda Rah සහ Amaya Resorts & Spas අයත් වෙයි.

Views: 607