මත්තල ගුවන් තොටුපළේ ගාස්තු අය කිරීම වසරකට අත්හිටුවයි

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් යානා ගොඩබැස්සවීමේ හා ගුවන් යානා නතර කිරීමේ ගාස්තු අය කිරීම වසරකට සම්පූර්ණයෙන් ම අත්හිටුවා ඇතැයි සංචාරක අමාත්‍යාංශය පවසයි. මත්තල ගුවන් තොටුපළට ජාත්‍යන්තර ගුවන් යානා ගෙන්වා ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බව එම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. ඊට අදාළ නියෝග පසුගිය (08) වෙනිදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් වල දී උපරිම පිටත් වීමේ බර මෙට්‍රික් ටොන් 1 ක් සදහා අය කෙරෙන ගොඩබැස්සවීමේ ගාස්තුව ඩොලර් 4 කි. ගුවන් යානා නතර කිරීමේ ගාස්තුව වන්නේ ගොඩබැස්සවීමේ ගාස්තුවෙන් 10%කි. මීට අමතරව මත්තල ගුවන් තොටුපළේ ගුවන් තොටුපළ අපනයන බද්ද අය කිරීම වසර 02 ක් සදහා සම්පූර්ණයෙන් ම අත්හිටුවීමට ද රජය තීරණය කර තිබේ.

ඊට අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමි වී තිබේ. මේ වන විට මුදල් අමාත්‍යාංශය ඊට අදාළ ඉදිරි කටයුතු ද සිදු කරමින් සිටින බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඇමෙරිකානු ඩොලර් 60 ක් වන ගුවන් තොටුපළ අපගමන බද්ද අය කෙරෙනුයේ ගුවන් මගීන්ගෙනි. ඒ ඔවුන්ගේ ප්‍රවේශ ප්‍රත මිලෙන් සැලකිය යුතු ප්‍රමාණයකි. කලාපීය තරගකරුවන් හා සැසදීමේ දී ගමනාන්තයක් ලෙස සංචාරකයන්ගේ ආකර්ෂණයට අහිතකර ලෙස බලපාන බව ද අධ්‍යයන මගින් හෙළි ව ඇතැයි පවසන අමාත්‍යවරයා සහනාදායී ගුවන් සමාගම් ද මත්තල ගුවන් තොටුපළ අපගමන බද්ද කිසියම් කාලයකට අතහැර දැමීමට හෝ අඩු කිරීමට සලකා බලන ලෙස ඉල්ලීම් කර තිබු බවද සඳහන් කරයි.

මීට අමතරව මත්තල ගුවන් තොටුපලේ බිම් මෙහෙවර සේවා (Ground Handling) සදහා වට්ටම් අනුපාතයක් ලබා දීමට ද තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ වල බිම් මෙහෙවර සේවා ගාස්තු සෙසු කළාපීය ගුවන් තොටුපළට වඩා ඉහළ අගයක් ගනී. එය මත්තලට ජාත්‍යන්තර ගුවන් සමාගම් ආකර්ශනයට බාධාවක් බැවින් මෙම තීරණයට එළඹි බව ඇමතිවරයා පවසයි. ශ්‍රී ලංකන් සමාගම මේ සම්බන්ධයෙන් මේ වන විට කටයුතු ද කරමින් සිටි.

මත්තලට පැමිණෙන ගුවන් යානා සදහා සහන මිලට ඉන්ධන ලබාදීමට ද රජය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් ඛණිජ තෙල් සංස්ථාව සමග දැනටමත් සාකච්ඡා කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. මෙම සහනය ලබාදීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ඉදිරියේ දී මේ සම් බන්ධව ඛණිජ තෙල් සංස්ථාව සාධණීය ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි අපේක්ෂා කරන බව ද රණතුංග මහතා කියයි.

මේ සියළු පියවර ගන්නේ  මත්තල ගුවන් තොටුපළ සක්‍රීය ගුවන් තොටුපළක් බවට පත් කීරීම සදහා බව පවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඉදිරි මාස 06 ක කාලය තුළ මෙරට දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෙස මත්තල ගුවන් තොටුපළ දියුණු කිරීම සිය අපේක්ෂාව බව ද පවසා සිටියි.

Views: 69