කොළඹ ජල සැපයුමෙන් 45%ක් ම අපතේ ගිහින්

පසුගිය කාලසීමාවේදී කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් සමස්ත ජල සැපයූමෙන් 45%ක ප්‍රමාණයක් කාන්දුවීම හේතුවෙන් අපතේ යමින් තිබී ඇතැයි ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නිලධාරීන් ජනපතිවරයා වෙත අනාවරණය කර තිබේ.

ග්‍රාමීය හා ප්‍රාදේශීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (03) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී එම නිලධාරීන් ජනාධිපතිතුමා වෙත මේ කරුණු සඳහන් කර ඇත.

ඒ අනුව ඊට පිළියම් ලෙස ගත වූ මාස කිහිපය තුළ කොළඹ දිස්ත්‍රික්කය තුළ අලුතින් ජල නළ එළීමෙන් එම ජලය අපතේ යාම 15%දක්වා අඩුකර ගැනීමට හැකිව ඇතැයිද එම නිලධාරීන් මෙහිදී ජනපතිවරයා වෙත පවසා තිබේ.

එසේම  ඉදිරියේදීත් ජලය ආරක්ෂා කිරිමේ පියවරක් ලෙස ජලය කාන්දුවන ස්ථාන හඳුනාගෙන අලුතින් ජල නළ එළීම දැන් සිදුවන බවත් නිලධාරීන් මෙහිදී ජනපතිවරයා වෙත සඳහන් කර ඇත. 

කෙසේ වෙතත් මෙලෙස ජල නළ එළිමේදී මාර්ගවලට සිදුවන හානිය සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබේ. විශේෂයෙන්ම මාර්ගවලට වන හානිය සහ එමගින් ජාතික ධනය විනාශවීම සිදුවන බව ජනපතිවරයා නිලධාරීන් වෙත පෙන්වා දී ඇත.

ඒ අනුව එම තත්ත්වය වැළැක්වීමට මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජල සම්පාදන මණ්ඩලය ඒකාබද්ධව සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමටද ඊයේ දිනයේදී එකඟතාව පළ කෙරී ඇත. රටේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට යන සමස්ත වියදමෙන් 30%ක් පමණ මින් ඉතිරි කර ගත හැකි බවද නිලධාරීන් මෙහිදී පවසා තිබේ.

Views: 50