බෙල්ජියානු, සිංගප්පූරු, ජපාන සහ කොරියානු ආයෝජකයන් ‘පෝර්ට් සිටිය’ ගැන අවධානයෙන්ලු

කොළඹ වරාය නගරය හෙවත් කලම්බු පෝර්ට් සිටි තුළ සිය වෙළෙඳ ක්‍රියාකාරකම් සිදු කිරීම සදහා බෙල්ජියානු, සිංගප්පූරු, ජපාන සහ දකුණු කොරියානු ආයෝජකයන් දැනටමත් සිය කැමැත්ත ප්‍රකාශයට පත් කර තිබෙන බව CHEC Port City Colombo හි මහජන සබඳතා නිලධාරී කස්සප සෙනරත් මහතා පවසයි.

පෝර්ට් සිටිහි සංවර්ධන ව්‍යාපෘතීන්හි වර්තමාන ප්‍රගතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැති හමුවකදී ඔහු මේ කරුණු සඳහන් කර තිබේ. එම රටවලට අමතරව පාකිස්තානය සහ බංග්ලාදේශය ඇතුළු තවත් රටවල් කිහිපයක්ම මෙම ව්‍යාපෘතිය තුළ ආයෝජනයට සූදානමින් සිටින බවද හෙතෙම සඳහන් කරයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති කස්සප සෙනරත් මහතා, වරාය නගර ව්‍යාපෘතිය මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් බවත්, අද වනවිට  එහි සේවකයන් 4,000කට ආසන්න පිරිසක් ඉදිකිරීම් ඇතුළුව අනෙකුත් කටයුතුවල යෙදී සිටින බවත් පවසයි. එහිදී දේශීය කම්කරුවන් මෙන්ම ඉංජිනේරුවන්ද මෙම දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘතිවලදී චීන කම්කරුවන් සහ ඉංජිනේරුවන් සමගින් එක්ව කටයුතු කරමින් ඉහළ අත්දැකීම් ලබා ගනිමින් සිටින බවත් ඔහු සඳහන් කරයි.

සෙනරත් මහතා සඳහන් කරන ආකාරයට මෙම පළමු වසර 10 තුළදී ශ්‍රී ලාංකිකයන් 10,000කට ආසන්න පිරිසකට පෝර්ට් සිටිහි ඍජු රැකියා අවස්ථාව හිමි වෙයි. එසේම විදේශීය ආයෝජකයන් සමගින් පිවිසෙන නව ගිවිසුම් යටතේ තවත් රැකියා බොහෝමයක්ම බිහි වෙනු ඇතැයිද ඔහු විශ්වාසය පළ කරයි.

මෙම සමස්ත ව්‍යාපෘතියම නිම කිරීමෙන් අනතුරුව ඍජු හා වක්‍ර රැකියා අවස්ථා 83,000 කට ආසන්න ප්‍රමාණයක් සැපයීම අරමුණ වී තිබේ. හෙක්ටයාර 269ක භූමි භාගයක් පුරා මෙම වරාය නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි. මුහුද ගොඩකර නිම වූ මේ සඳහා කෙරුණු මූලික ආයෝජනය ඩොලර් බිලියන 1.4ක් වන අතර, එය සම්පූර්ණ වූ විට එහි සමස්ත ආයෝජනවල වටිනාකම ඩොලර් බිලියන 15ක් බවට පත්වෙනු ඇතැයි ගණන් බලා තිබේ.

මෙම පෝර්ට් සිටි කලම්බු හෙවත් කොළඹ වරාය නගරය කොටස් 5කින් යුක්ත වෙයි.ඒ අනුව මූල්‍ය දිස්ත්‍රික්කය, උද්‍යාන වාසී ප්‍රදේශය, ජාත්‍යන්තර දූපත, මරීනා ප්‍රදේශය, දූපත් වාසී ප්‍රදේශය එම කොටස් වෙයි. මෙහි ඇති සමස්ත ඉදිකිරීම් අවකාශය වර්ග මීටර් මිලියන 5.7ක් ලෙස සැලකෙයි.

වාර්තා පවසන ආකාරයට ඉදිරි වසර පහක කාලය තුළදී මෙම කොළඹ වරාජය නගරය සඳහා එක්සත් ජනපද ඩොලර් බිලියන 5.5ක ඍජු විදේශ ආයෝජන හිමිවීමට නියමිතව ඇත. දැනටමත් ඒ අතරින් ඩොලර් මිලියන 500ක ආයෝජන එහි සිදු කෙරී ඇත.

එසේම පළමු ආයෝජනය ලෙස යෝජිත ජාත්‍යන්තර මූල්‍ය නගරයේ ගෙඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් වන ඩොලර් බිලියනයක ආයෝජනයක්ද සිදු කෙරී ඇත. මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන මෙය අදියර දෙකකින් ක්‍රියාත්මක වෙයි. එහිදී මෙම ගොඩනැගිල්ලේ නිර්මාණ කටයුතු එක්සත් ජනපදයේ ස්කිඩ්මෝර් ඔවින්ග්ස් ඇන්ඩ් මෙරිල් නම් සමාගම වෙත ප්‍රදානය කෙරී ඇත. ව්‍යාපෘතියේ පළමු අදියර ඩොලර් මිලියන 400ක් වන අතර දෙවැන්න ඩොලර් මිලියන 600 කි.

මීට අමතරව ප්‍රධාන පෙළේ චීන ආයෝජකයන් දෙදෙනකුද ඉදිරි වසර පහක කාලය තුළදී පෝර්ට් සිටි ව්‍යාපෘතිය වෙනුවෙන් ඩොලර් බිලියන 4.5ක මුදලක් ආයෝජනයට සූදානමින් සිටියි. එහිදී මරීනා බේ සංකීර්ණය, තරු හතේ හෝටල් සංකීර්ණයක් සහ සුපිරි මට්ටමේ නිවාස සංකීර්ණයක් සහ තවත් යටිතල පහසුකම් ඉදිකිරීමට නියමිතව ඇත.

Views: 270