සෞඛ්‍ය පිළිබඳව පාසල් දැනුවත් කිරීමට ඇට්ලස් දායකත්වය

COVID-19 වසංගත තත්ත්වයෙන් අනතුරුව පාසල් යළි විවෘත කෙරෙන අවස්ථාවේදී ඇට්ලස් ඇක්සිලියා සමාගම අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ අත්වැල් බැඳගනිමින් සෞඛ්‍යය සහ ආරක්ෂාව පිළිබඳ දරුවන් දැනුම්වත්කිරීමට ඉදිරිපත්ව සිටින බව පවසයි.

ඒ අනුව, පාසල් දරුවන් COVID-19 වසංගතයෙන් ආරක්ෂා කිරීමට අවශ්‍ය සනීපාරක්ෂක සහ ආරක්ෂක ක්‍රමවේද පිළිබඳ ඔවුන් දැනුම්වත් කිරීමට මෙන්ම යහපත් සෞඛ්‍ය පුරුදු ඔවුන් තුළ ඇතිකිරීමට ද ඇට්ලස් සමාගම අධ්‍යාපන අමාත්‍යංශය සමඟ එක්ව විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත.

අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඉගෙනුම් පරිසරය තුළ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ ඇට්ලස් සමාගමේ අනුග්‍රහයෙන් යුතුව විකාශය කරන ලද රූපවාහිනී දැන්වීම්, සිසුන් අතර බෙදාහැරීමට නියමිත COVID-19 වසංගතයෙන් ආරක්ෂා වීම පිළිබඳ පොත් පිංච සහ සෞඛ්‍යය සහ ආරක්ෂාව මෙන්ම යහපත් සනීපාරක්ෂක ක්‍රමවේද සිය ජීවන ශෛලියේ කොටසක් බවට පත්කර ගැනීම පිළිබඳ දරුවන්ට කියාදෙන ‘ඇට්ලස් සුරු විරු’ අන්තර්ජාල හා ජංගම දුරකථන යෙදවුම (Mobile App) ද එම වැඩසටහන් අතර වෙයි.

ඇට්ලස් සමාගමත් අධ්‍යාපන අමාත්‍යංශයත් එක්ව දියත්කරන එම වැඩසටහන් හරහා වසංගත තත්ත්වයෙන් මිදීම සඳහා ගත යුතු නිවැරදි ක්‍රියාමාර්ග සහ සියලු පාසල් දරුවන් වෙනුවෙන් වඩාත් සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳ දරුවන්ගේ අවධානය යොමුකිරීම අපේක්ෂා කෙරේ.

මෙම පිළිබඳ අදහස් පළ කරන අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා, “සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද පිළිබඳ දරුවන් දැනුම්වත් කිරීම ඇතුළුව නිවැරදි ක්‍රමවේද අනුගමනය නොකිරීමෙන් පාසල් තුළ ලෙඩ රෝග පහසුවෙන් ව්‍යාප්ත විය හැකියි. ශ්‍රී ලංකාවේ කීර්තිමත් ම ලිපිද්‍රව්‍ය සමාගමක්වන ඇට්ලස් සමාගම එම ප්‍රයත්නයට සහයෝගය ලබාදීමට ඉදිරිපත් වීම පිළිබඳ අප ඔවුන්ට අපගේ ස්තූතිය පිරිනමනවා.” යනුවෙන් පවසා තිබේ.

ඇට්ලස් ඇක්සිලියා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතාද අදහස් දක්වමින්, “වසර 60 කට අධික කාලයක පටන් සියලු ශ්‍රී ලාංකිකයන් හට ලෝක මට්ටමේ ඉගෙනුම් සහ රැකියා නිෂ්පාදන සම්පාදනය කිරීම සඳහා කැපවී සිටිනවා. එබැවින්, මෙවැනි ගෝලීය වසංගත තත්ත්වයක් සහ ජාතික සෞඛ්‍යමය ආපදාවක් උද්ගත වී ඇති මොහොතක දරුවන් හට සුරක්ෂිත අනාගතයක් උදාකිරීම අපගේ වගකීමයි. අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත්කර ඇති මාර්ගෝපදේශ සහ පියවර අනුගමනයකරමින් වඩාත් සුරක්ෂිත ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීමට හැකිවනවා. අධ්‍යාපන අමාත්‍යංශය සමඟ අත්වැල් බැඳගනිමින් මෙවැනි වැදගත් ව්‍යාපෘතියක් සඳහා දායකවීමට හැකිවීම අප ගෞරවයක් සේ සලකනවා.” යනුවෙන් පවසා ඇත.

පසුගිය කාලය පුරාම ඇට්ලස් සමාගම දියත් කළ ව්‍යාපෘති අතර දුරස්ථ වෛද්‍ය සහායක රොබෝ යන්ත්‍රයක් සැලසුම්කිරීම සහ එම ව්‍යාපෘතිය සාර්ථකව දියත් කිරීම, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට මුඛ ආවරණ නිෂ්පාදනය කිරීම සඳහා සමස්ත නිෂ්පාදන ක්‍රමවේදයක් පරිවර්තනය කිරීම, අභ්‍යන්තර සහ බාහිර කාර්යමණ්ඩල සාමාජිකයන් හට සනීපාරක්ෂක දියර නිෂ්පාදනය කිරීම හා බෙදාහැරීම සහ මහජනතාවට අවශ්‍ය සනීපාරක්ෂක කඩදාසි නිෂ්පාදන ලබාදීම සුවිශේෂී වෙයි.

Visits: 14