පිට පිට සිව්වැනි දිනයටත් කොටස් ගැනුම්බරතාව එලෙසින්ම

කොටස් වෙළෙඳ පොළ තුළ පුරා දින තුනක් පැවැති ආයෝජක ගැනුම්බරතාව සිව්වැනි දිනයටත් අද දිනයේදී එලෙසින්ම පැවැති බව කොටස් වෙළෙඳ පොළ තැරැව්කාර සමාගම් පවසයි. එහිදී විදේශ ආයෝජන පිටතට ගලායාම්ද සමගින් බැංකු සඳහා වන ආයෝජන ආකර්ෂණය තවදුරටත් ඉහළ යාමක් පෙන්නුම් කෙරිණි.

එසේම ලොක්ඩවුන් සීමාවන්හි බලපෑමත් සමගින්ම නිෂ්පාදන අංශයේ ඇතැම් සමාගම් තුළ ප්‍රතිඵල යම් ඍණාත්මක තත්ත්වයක් පෙන්නුම් කර ඇත. කෙසේ වෙතත් සමස්තයක් ලෙස ගත් විට ආයෝජක හැඟීම් වඩාත් දියුණු මට්ටමකට පත් වූ බවට ධනාත්මක ඉඟි පළ වුණු බව කොටස් තැරැව්කාර සමාගම් සඳහන් කරයි..      

ඒ අනුව අද (2020 අගෝස්තු 14) දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය (ASPI) මෙන්ම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකයද ධන අගයක් ගෙන තිබුණි.  

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,235.88 ත් ඒකක 5,265.58 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,261.99ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (අගෝස්තු 13දාට) සාපේක්ෂව එය ඒකක 26.38 ක් එනම් +0.50%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකින් පසුව පැමිණි එකඟතාවකට අනුව සිදු වූ ගනුදෙනු හරහා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, ඩී.එෆ්.සී.සී බැංකුව, සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව සහ ඩයලොග් ආසිආටා යන සමාගම අද දිනයේදී සිදු කළ ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 19%ක් සඳහා දායකත්වයක් ලබා දී ඇත.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 76ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 74ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+14), එල්ඕඑල්සී පීඑල්සී LOLC (+2.7), හැටන් නැෂනල් බැංකුව පීඑල්සී HNB (+2.6), ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (+2.2), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (+2.1), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-2.5), කොමර්ෂල් බෑන්ක් පීඑල්සී COMB (-1.9), සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී AAIC (-1.7), ට්‍රාන්ස් ඒෂියා හොටෙල්ස් පීඑල්සී TRAN (-1.2)  සහ එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී SPEN (-0.9) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,320.10 ක අගයක් ගත් අතර, එය ඊයේ (අගෝස්තු 13) දිනයට සාපේක්ෂව ඒකක 22.98 ක එනම් 1.00%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.41ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ දිනයේ වාර්තා කළ රුපියල් බිලියන 1.92 ට සාපේක්ෂව 77%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.48 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 13.15%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 357ක් ලෙස සටහන් විය. එසේම  සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 1,238ක අගයක් ගෙන තිබේ.

මේ අතර, දිනයේ දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 881 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 27.79ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හැටන් නැෂනල් බැංකුව පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 155.6 කි. එසේම ඩීඑෆ්සීසී බැංකුව විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 999ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් බිලියන 2.07 ක් සඳහා බැංකු දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 61% ක අගයක් ගෙන තිබේ. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ ආහාර, පාන සහ දුම්කොළ ක්ෂේත්‍රය එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 707ක සහ රුපියල් මිලියන 158ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Views: 212