ද ෆිනෑන්ස්, ETI සහ SFS වන්දි මුදල් ගෙවන මහජන බැංකු වැඩි කරන්නලු

ද ෆිනෑන්ස් සමාගම, ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් යන සමාගම්වල තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම සියලුම මහජන බැංකු ශාඛාවලින් සිදු කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් දී ඇතැයි මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

දැනට මහජන බැංකු ශාඛා 46ක් මගින් පමණක් මෙම ද ෆිනෑන්ස්, ඊ.ටී.අයි. සහ ස්වර්ණ මහල් ෆයිනෑන්ෂල් සර්විස් යන සමාගම්වල තැන්පත්කරුවන්ගේ රුපියල් ලක්ෂ හය (600,000/=) බැගින් වූ තැන්පත් මුදල් ගෙවීම සිදු කරයි.

ඒ අනුව දිවයිනේ සියලු මහජන බැංකු ශාඛා හරහා සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතා වෙත උපදෙස් ලබා දී ඇත.

දළ වශයෙන් 146,000ක් පමණ වූ ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන් සඳහා දැනට තැන්පත් ආපසු ගෙවීම සිදු කරනු ලබයි.

මීට අමතරව ඊ.ටී. අයි. මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන් 38,000කට සහ ස්වර්ණ මහල් ෆයිනෑන්ෂල් සර්විස් පොදු සමාගමේ ගනුදෙනුකරුවන් 9,000කට ද තැන්පත් මුදල් ගෙවීම ජූලි මස 25 වැනි සෙනසුරාදා සිට දිවයිනේ සියලු ම මහජන බැංකු ශාඛා මගින් සිදු කිරීම ආරම්භ කෙරෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

Views: 114