HNB හා myfees.lk සුවිශේෂී හවුල්කාරීත්වයකට

හැටන් නැෂනල් බැංකුව (HNB) ශ්‍රී ලංකාවේ පළමු හා එකම පාසැල් හෝ අධ්‍යාපනය සම්බන්ධ ගාස්තු ගෙවීමේ වේදිකාව myfees.lk සමඟ සුවිශේෂී හවුල්කාරීත්වයකට එළැඹි බව පවසයි.

ඒ අනුව මෙම අධ්‍යාපන ගාස්තු ගෙවීමේ වේදිකාව මඟින් දෙමාපියන්ට හා අධ්‍යාපනික ආයතනවලට බාධාවකින් තොර, ඉතාමත් සරල හා ගෙවීම් කටයුතු නිශ්චය කිරීමේ ක‍්‍රියාවලියක් එක් බොත්තමක් ක්ලික් කළ සැනින් ලබා දෙන බව සඳහන් වෙයි.

විශේෂයෙන්ම අධ්‍යාපන අංශය ඉලක්ක කරගත් මෙම නව සහයෝගිතාවය සැමටම ආරක්ෂිත, සරල හා පහසු ගෙවීමේ හැකියාවක් ලබා දෙන බව HNB සහ myfees.lk පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන HNB හි පාරිභෝගික බැංකු කටයුතු සහ කුඩා සහ මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී, සන්ජේ විජේමාන්න මහතා, “කොවිඩ් වසංගතය හේතුවෙන් පැවති ලොක්ඩවුන් කාලය තුළ අධ්‍යාපන අංශයේ කටයුතු අඛණ්ඩව එලෙසම පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ඩිජිටල් වේදිකාවලට මාරු වීමක් දක්නට ලැබුණා. ඩිජිටල්කරණ ක‍්‍රියාවලියේ අඛණ්ඩව ඉදිරියට යන බැංකුවක් ලෙස දෙමාපියන්ට හා අධ්‍යාපනික ආයතනවලට පහසුකම් සැලසීමට මෙම නවෝත්පාදන හා පහසු ගෙවීමේ වේදිකාවට ශක්තිය ලබා දීම පිළිබඳව අප සතුටු වෙනවා,” යනුවෙන් පවසයි.

පරිශීලකයින්ට සරලවම myfees.lk වෙත පිවිස, අදාළ තොරතුරු ලබා දී එක් බොත්තමක් ක්ලික් කිරීමෙන් සිය ගෙවීම් කටයුතු සිදු කර ගත හැකිය. ගමන් බිමන්වලින් තොරව සිය කාලය ඉතිරි කර ගනිමින් මෙම ගෙවීම් සිදුකළ හැකි වීම විශේෂත්වයකි. එහිදී සියලුම ණයපත් හා හරපත් හරහා අදාළ ගෙවීම් භාරගන්නා අතර ලියකියවිලි අවශ්‍ය නොවීමත් පසුගිය ගෙවීම් පිළිබඳ වාර්තා ඇතුලත්ව තිබීමත් මෙහි සතු විශේෂත්වයකි.

මේ අවස්ථාව පිළිබඳ අදහස් දක්වන MyFees අධ්‍යක්ෂක, ෆයික් ෆායීස් මහතා “සැලකිය යුතු අධ්‍යාපනික ආයතන සංඛ්‍යාවක් MyFees වේදිකාවට ඇතුලත් වී සිටීම ඉතාමත් දිරිගන්වන සුළුයි. HNB සමඟ ඇති අපගේ හවුල්කාරීත්වය පරිශීලකයින් අප කෙරෙහි තබා ඇති විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරන අතර සිසු සිසුවියන් හා අධ්‍යාපනික ආයතනවලට වටිනාකම් එකතු කළ සේවාවන් එක් කිරීමට අපව යොමු කරනවා.” යනුවෙන් පවසා සිටියි.

Views: 50