කොරෝනාවෙන් පසු රුසියානුවන්ට සංචාරයට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවත්

කොරෝනා වෛරස තත්ත්වය පහව යාමත් සමගින් රුසියානු රජය විසින් එරට වැසියන් සඳහා සංචාරය කිරීමට අනුමත කළ රටවල් 09 අතර ශ්‍රී ලංකාවද ඇතුළත්ව ඇතැයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යුරි මාටෙරිය් මහතා පසුගියදා සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම මහතා සමගින් එම පරිශ්‍රයේදී පැවැත් වූ සාකච්ඡාවකදී මේ කරුණු අනාවරණය කර තිබේ.

එහිදී වැඩිදුරටත් කරුණු දක්වා ඇති තානාපතිවරයා, මේ වනවිට ශ්‍රී ලංකාව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය වෙනුවෙන් ගෙන ඇති ප්‍රශස්ත වැඩපිළිවෙල හේතුවෙන් රුසියානු රජය මෙම ගෙන ඇති බව සඳහන් කර තිබේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ සංචාරය සඳහා එක්ව සිටි 300කට අධික රුසියානුවන් පිරිසක් තවමත් මෙරට රැඳී සිටීම සඳහා යොමු වී තිබීම සඳහාද මෙම කොරෝනා ව්‍යාප්ති පාලන වැඩපිළිවෙල බෙහෙවින් ඉවහල් වී තිබෙන බවද තානාපතිවරයා පවසා තිබේ.

එමෙන්ම කොරෝනා වෛරස තත්ත්වය පහව යාමත් සමගින් ජාත්‍යන්තර මෙහෙයුම් සඳහා ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් පසු රුසියාව සහ ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන ගුවන් ගමන් වාර යළි ආරම්භ කිරීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

එසේම දැනට ගුවන් සේවා ක්‍රියාත්මක වන රුසියාවේ ප්‍රධාන ගුවන් තොටුපොළවලට අමතරව වෙනත් ගමනාන්ත වෙතද ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කිරීමේ හැකියාව සහ ඉදිරියේදී ඒ වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු වූ බව එම අධිකාරිය වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 51