වාලච්චේන කම්හලේ ටොන් 30ක ප්‍රථම කඩදාසි තොගය ජුලි 30 වැනිදා වෙළෙඳ පොළට – ජාතික කඩදාසි සංස්ථාවේ සභාපති විමල් රූපසිංහ

ඈවර කර තිබූ වාලච්චේචන කඩදාසි කර්මාන්තශාලාව යළා යථාවත් කිරීමෙන් අනතුරුව එහි නිපදවූ පළමු කඩදාසි මෙට්‍රික් ටොන් 30ක ප්‍රමාණයක් ලබන ජූලි 30 වැනිදා වෙළෙඳ පොළට අලෙවි කිරීමට කටයුතු යොදන බව ජාතික කඩදාසි සංස්ථාවේ සභාපති විමල් රූපසිංහ මහතා පවසයි.

කොළඹදී පැවැත්වෙන මෙම කටයුතු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතව ඇතැයි සභාපතිවරයා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

2020 ජනවාරියේ මුල්වරට නිරීක්ෂණ කටයුතු සඳහා පැමිණෙන විට අබලන් වූ ගොඩනැගිලි සහිතව ජල විදුලි පහසුකම් අහිමිව, ප්‍රධාන කඩදාසි නිෂ්පාදන යන්ත්‍ර දෙකම අක්‍රියව තිබූ ජාතික කඩදාසි සමාගමට අයත් වාලච්චේන කඩදාසි කම්හල, 2020 ජුලි 30 වැනිදා සිට වාණිජමය වශයෙන් කඩදාසි නිපදවන තත්ත්වයට පත් කිරීමට විෂය භාර අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් හා සමීප අධීක්ෂණ යටතේ තමන් ඇතුළු නව අධ්‍යක්ෂ මණ්ඩලයට හැකිව ඇතැයි ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ මහතා එහිදී සඳහන් කළේය.

“වාලච්චේන කඩදාසි කම්හලේ 2010 සිට මුද්‍රණ කඩදාසි නිපදවන යන්ත්‍රය අක්‍රියව පැවතුණා. 2015 දී බෝඩ් වර්ග නිපදවන යන්ත්‍රයද අක්‍රිය වී තිබුණා. අවසානයේදී පෙර පැවැති ආණ්ඩුවේ විෂය භාර ඇමතිවරයා, මෙම යන්ත්‍ර දෙකම අබලි ද්‍රව්‍ය ලෙස විකුණා දැමීමට කැබිනට් පත්‍රිකාවක් මගින් අනුමැතිය ලබා ගෙන තිබුණා.” සභාපතිවරයා සඳහන් කර සිටියේය.

එහෙයින් එසේ ඈවර කර තිබූ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව යළි යථාවත් කිරීමට අමාත්‍ය විමල් වීරවංශ මහතාට පළමුව කැබිනට් පත්‍රිකාවක් මගින් අනුමැතිය ලබා ගැනීමට සිදු වූ බවත්, එසේ වාලච්චේන කඩදාසි කම්හලට යළි පණ දුන් ඇමතිවරයා දෙවන කැබිනට් පත්‍රිකාව මගින් රුපියල් මිලියන 800ක ණය මුදලක් ලබා ගෙන වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදන ධාරිතාව දෙගුණයක් කිරීමට අවශ්‍ය නව යන්ත්‍ර මිලදී ගැනීමට හා වාලච්චේන කම්හල් පරිශ්‍රයේ අක්කර 330ක භූමිභාගය ඵලදායක ලෙස යොදා ගනිමින් සෝලා පැනල ව්‍යාපෘතියක් ඇතුළු බහුවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා දී ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“ඒ කටයුතු සිදු වෙමින් පවතිද්දී වාලච්චේන කර්මාන්ත ශාලාවේ ගොඩනැගිලි පිළිසකර කර කර්මාන්ත පරිශ්‍රයට යළි ජලය හා විදුලිය ලබා ගෙන, 2015 දී අක්‍රිය වූ බෝඩ් නිපදවන යන්ත්‍රය සම්පූර්ණයෙන්ම පණ ගන්වා, පරීක්ෂණ මට්ටමේ නිෂ්පාදන සිදු කොට අවසන් බවත් ජුලි 30 වැනිදා සිට කොරුගේටඩ් පෙට්ටි සෑදීම සඳහා අවශ්‍ය ක්‍රාෆ්ට් ලයිනර් කඩදාසි (80-120 ජීඑස්එම්), මුද්‍රණ කර්මාන්තයේ පොත් බැඳීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ක්‍රාෆ්ට් බෝඩ් (210-220 ජීඑස්එම්) හා බ්‍රිස්ටල් බෝඩ් වර්ග (180 – 200 ජීඑස්එම්) නිපදවීම ඇරඹුවා.” හෙතෙම පැවසුවේය.

ඉදිරියේ දී නව යන්ත්‍ර සූත්‍රද යොදා ගනිමින් නවතම මුද්‍රණ කඩදාසි වර්ග හා බෝඩ් වර්ග නිපදවා මෙරට කඩදාසි අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවත් ජාතික කඩදාසි සංස්ථාවේ සභාපති විමල් රූපසිංහ මහතා සඳහන් කළේය..

මෙහි දී අදහස් දැක්වූ අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි මහතා, ජාතික කඩදාසි සංස්ථාව සතුව ඇති ඇඹිලිපිටිය හා වාලච්චේන යන කඩදාසි කම්හල් දෙකම 2015 වන විට සම්පූර්ණයෙන්ම වසා දමා තිබූ නිසා මේ වන විට මෙරට වෙළෙඳපොළට කඩදාසි සැපයීමේ රාජ්‍ය අංශය සතු ධාරිතාව ශුන්‍ය වී ඇති බව පවසා සිටියේය. එසේම 2019 මුදල් වර්ෂය තුළ මෙරටට ආනයනය කර ඇති කඩදාසි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 120,000ක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

“ඒ වගේම එම වසරේදී ශ්‍රී ලංකාවෙන් අබලි කඩදාසි මෙට්‍රික් ටොන් 155,000ක් අපනයනය කර තිබෙනවා. ඉන් ඉපැයූ මුදල සැලකිල්ලට ගත්තහම සිදුව ඇති වෙළෙඳ හිඟය (ඩොලරය රුපියල් 180ක් ලෙස සලකා) රුපියල් මිලියන 99,975ක් (ආසන්න වශයෙන් රුපියල් බිලියන 100ක්). ඒ කියන්නේ ශ්‍රී ලංකාව තුළ කඩදාසි නිෂ්පාදනය නොවීම හේතුවෙන් වාර්ෂිකව ඒ සඳහා රුපියල් බිලියන 100ක් වැය කිරීමට සිදු වෙලා. එය අඩු ආදායම්ලාභීන්ට සමෘද්ධිය ලබා දීමට වැය කරන මුදලට වඩා වැඩියි.” අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ නිසා වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවට යළි පණ දීමේ පියවරත් සමඟ ඇරඹෙන්නේ රට තුළ රුපියල් බිලියන 100ක් වැනි විශාල මුදලක් ඉතිරි කර ගැනීමේ මහා මෙහෙයුමක් බව ද ඒ මහතා පෙන්වා දෙයි.

“ඉදිරියේ දී යළිත් ලොව කඩදාසි පරිහරණය ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇති වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවට කඩදාසි වෙනුවෙන් වැය කිරීමට සිදුවන මුදල ඉහළ යා හැකියි. මේ තත්ත්වය තුළ පණ ගැන් වූ වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදන ධාරිතාව දෙගුණ කිරීමේ සැලසුමක් තිබෙනවා.” නන්දසිරි මහතා අනාවරණය කළේය.

කෙසේ වෙතත් නිෂ්පාදන පිරිවැය අධික වීමත්, දරාගත නොහැකි සේවක අතිරික්තයත් මෙම ජාතික සම්පත වැසී යාමට බලපෑ හේතු ලෙස අමාත්‍යාංශය හඳුනා ගෙන ඇති බවද ඒ මහතා පැවසීය. ඒ අනුව, ඉදිරියේ දී කඩදාසි මෙට්‍රික් ටොන් එකක් නිපදවීම සඳහා වැය වන විදුලි ඒකක ප්‍රමාණය කිලෝ වොට් පැය 700 සිට කිලෝ වොට් පැය 350 දක්වා හරි අඩකින් අඩු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් අනාවරණය කළේය.

එසේම අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉදිරිපත් කර ඇති වාලච්චේන කඩදාසි කම්හල් පරිශ්‍රය සංවර්ධන කිරීමේ බහුවිද සැලැස්ම අනුව, අක්කර 330ක් පුරා පැතිරී ඇති එම පරිශ්‍රය තුළ සූර්ය පැනල පද්ධතියක් ද, වගා බිමක් ද, පාසිකුඩා ඇතුළු ප්‍රදේශවල සංචාරක හෝටල් ඇති ස්ථානවලට පානීය ජලය ලබා දීමේ ව්‍යාපෘතියක්ද  ක්‍රියාත්මක කිරීම මගින් වාලච්චේන කඩදාසි කම්හල ලාභදායීව පවත්වා ගෙන යාමේ හැකියාව ලැබී ඇති බවත් සුදේශ් නන්දසිරි මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Views: 60