සොෆ්ට්ලොජික් ඉන්වෙස්ට් මගින් රු. 5000 සිට ආයෝජන අවස්ථා

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමාගමට අනුබද්ධිත සොෆ්ට්ලොජික් කැපිටල් සමාගමෙහි වත්කම් කළමනාකරණ ආයතනය වන සොෆ්ට්ලොජික් ඉන්වෙස්ට් (Softlogic Invest), සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාවෙන් (SEC) බලපත‍්‍රය ලබා ගැනීමෙන් පසු මෑතකදී Softlogic Equity Fund සහ Softlogic Money Market Fund නමින් ඒකක භාර අරමුදල් දෙකක් ආරම්භ කර ඇතැයි පවසයි. 

සමාගම පවසන ආකාරයට මෙම ඒකක භාර ආයෝජන ක‍්‍රම දෙක ඕනෑම පුද්ගලයෙකුට මසකට රුපියල් 5000/ ක අවම ආයෝජනයක් සමඟ ආරම්භ කළ හැකි වීම විශේෂත්වයකි.

මේ පිළිබඳව අදහස් දක්වන සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂක, අශෝක් පතිරගේ මහතා, “සොෆ්ට්ලොජික් ඉන්වෙස්ට් යනු  ඕනෑම පුද්ගලයෙකුට රුපියල් 5000ක් වැනි සුළු මුදලකින් ආරම්භ කර පසුව රුපියල් බිලියනයක ආයෝජනයක් දක්වා වර්ධනය කර ගැනීමට අවස්ථාව ලබා දෙන සුවිශේෂී ශ්‍රී ලාංකීය ආයෝජන සමාගමකි. ක‍්‍රමවත් ආයෝජන ක‍්‍රියාවලි පිළිබඳව ශ්‍රී ලාංකේය තරුණ පරපුරේ දැනුවත්භාවය ඉතාමත් අල්ප බව අපට පෙනෙන්ට තිබෙනවා. එම පරපුරේ අවශ්‍යතාවන් සපුරාලන සන්නාමයක් බවට සොෆ්ට්ලොජික් ඉන්වෙස්ට් පත් කිරීමට අප බලාපොරොත්තු වනවා.” යනුවෙන් පවසා සිටියි.

ඒකක භාර අරමුදලක් යනු සාමුහික ආයෝජන ක‍්‍රමයකි. මෙම සාමුහික ආයෝජනය පසුව ආයෝජන සමාගම විසින් එක් ගිණුමක තැන්පත් කරනු ඇත. ඉන් අනතුරුව මෙම සංචිත මුදල් තෝරාගත් මූල්‍ය සුරුකුම්පත් වල ආයෝජනය කෙරේ. සමස්ත ආයෝජනයේ කාර්ය සාධනය මත පදනම්ව, ශුද්ධ වත්කම් වටිනාකම ඒකක ගණනින් බෙදනු ලබන අතර, ඒකකයකට අදාල ශුද්ධ වත්කම් වටිනාකම ආයෝජකයින් හට ලැබේ.

මෙහිදී Softlogic Equity Fund එහි ආයෝජකයින්ගෙන් ලියාපදිංචි ගාස්තුවක් අය නොකරයි. එහි ආයෝජනයන් කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) ලැයිස්තුගත සමාගම්වල පමණක් සිදු කරන අතර, අරමුදල් කළමනාකරුවන්ගෙන් සමන්විත අධ්‍යයන කණ්ඩායමක් විසින් ආයෝජන සමාගම් හි කොටස්වල මිල ගණන් සහ තත්වය අගයනු ලබන බවත් පවසයි. 

මීට අමතරව Money Market Fund ලෙස හඳුන්වන ඒකක භාරය මගින් ආයෝජකයින්ට වසරකට අඩු කාලයකදී BBB- හා ඊට වැඩි ලෙස ශ්‍රේණිගත කර ඇති සමාගම්වල ආයෝජනය කිරිමෙන් කෙටි කාලීන ප‍්‍රතිලාභ ලබා දෙයි. දිනක් තුළ මුදල් ආපසු ගැනීමේ හැකියාව සමඟින් Money Market Fund ආයෝජකයින්ගේ ප‍්‍රාග්ධනය සුරැකිමින් ආයෝජන සඳහා උපරිම ප‍්‍රතිලාභයක් ලබා දෙයි.

මේ පිළිබඳ අදහස් දක්වන සොෆ්ට්ලොජික් කැපිටල් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ඉෆ්තිකාර් අහමඩ් මහතා, “මෙම ඒකක භාරයන් ආරම්භ කිරීමත් සමඟම ක‍්‍රමවත් ආයෝජන කළමනාකාර ක‍්‍රියාවලියකට අදාළ ගුණාත්මකභාවය ශ්‍රී ලංකාවේ ආයෝජක ප‍්‍රජාව වෙත ළඟා කර දීම අපගේ ඉලක්කය වී තිබෙනවා. තවද, අපගේ මෙම හඳුන්වා දීම සොෆ්ට්ලොජික් ඉන්වෙස්ට් හි ආයෝජන සැලසුම්වලට ශ්‍රී ලාංකේය ආයෝජක ප‍්‍රජාවෙන් ඇති ඉල්ලූමට කදිම ප‍්‍රතිචාරයක්,” යනුවෙන් පවසයි.

ශ්‍රී ලාංකේය මූල්‍ය ක්ෂේත‍්‍රය තුළ විශිෂ්ටත්වය ළඟා කර ගත් සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම, සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් සහ සොෆ්ට්ලොජික් Stockbrokers යන සොෆ්ට්ලොජික් මූල්‍ය සේවා සමූහයට අයත් සමාගම්වල වසර ගණනක පරිණත බව කැටි කර ගනිමින් සොෆ්ට්ලොජික් Asset Management සමාගම ස්ථාපිත කිරීමට සොෆ්ට්ලොජික් සමූහය කටයුතු කර ඇත.

මූල්‍ය ආයෝජන සහ ඩිජිටල් සේවා යන අංශ දෙක ඒකාබද්ධ කරමින් ආයෝජකයින්ට සරල හා අද්විතීය ආයෝජන අත්දැකීමක් ලබා දීම අරමුණ කරගනිමින් දියත් කල සොෆ්ට්ලොජික් ඉන්වෙස්ට් සන්නාමය, ශ්‍රී ලංකාවේ ආයෝජන සංස්කෘතියක් ඇති කරමින්, ශ්‍රී ලාංකිකයින්ගේ ආයෝජන සිහිනයන් සාක්ෂාත් කර ගනිමින් මුදල් පරිපාලනය පිළිබඳ නිවැරදි මගපෙන්වීමක් ලබා දීම උදෙසා කටයුතු කරනු ඇතැයිද පවසයි.

Views: 1727