සුරේෂ් අමරසේකර නේෂන් ලංකා ෆිනෑන්ස් ප්‍රධාන විධායක ධුරයට

නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සුරේෂ් මොඩෙස්ටස් අමරසේකර මහතා පත් කර ඇතැයි එම සමාගම සඳහන් කරයි. 2020 ජූනි 16 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදුව තිබේ. ඒ වන විටත් අමරසේකර මහතා සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කරමින් සිට ඇත.

නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස මෙතෙක් කටයුතු කළ ජයන්ත පෙරේරා මහතා 2020 ජූනි 16 වැනිදා සිට එම ධුරයෙන් ඉවත්ව යාමත් සමග පුරප්පාඩු වූ තනතුර සඳහා අමරසේකර මහතා පත්වීම් ලැබ තිබේ. අයහපත් සෞඛ්‍ය තත්ත්වය පෙරේරා මහතා එම ධුරයට සමුදීමට හේතුව ලෙස සඳහන් වෙයි.

මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වන ජයන්ත සී පෙරේරා මහතා 2015 වසරේ ජූනි 10 වැනිදා නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්විය. ඒ අනුව වසර පහක සේවා කාලයකින් පසුව ඔහු සමාගමේ ප්‍රධාන විධායක ධුරයට සමු දී තිබේ.

නේෂන් ලංකා ෆිනෑන්ස් සමාගමේ නව  ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්වීම් ලැබූ සුරේෂ් එම්. අමරසේකර මහතා, මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 35කට අධික අත්දැකීම් සහිත ජ්‍යේෂ්ඨ බැංකුකරුවෙකු බව සමාගම සඳහන් කරයි.

2016 මැයි මාසයේ සිට 2018 සැප්තැම්බර් දක්වා ඔහු සොලමන් දූපත්හි පිහිටි පෑන් ඕෂියැනික් බෑන්ක් හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර තිබේ. ඊට පෙර ඒ මහතා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (HDFC) සහ ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී යන ආයතනවල ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර ඇත.

සමාගම සඳහන් කරන ආකාරයට ගෙවුනු ආසන්න වසර 12ක කාලය තුළදී අමරසේකර මහතා, වර්තමාන තනතුරද සමගින් බැංකු දෙකක සහ මූල්‍ය සමාගම් තුනක විධායක මට්ටමේ තනතුරු දරා තිබේ. එසේම ඒ මහතා සෙලාන් බැංකුවේ සහකාර සාමානන්‍යාධාකාරීවරයා ලෙසත්, අලියානාස් ෆිනෑන්ස් පීඑල්සීහි ප්‍රධාන විධායක නිලධාරීයා ලෙසත් කටයුතු කර ඇත.

නවලෝක සමූහ ව්‍යාපාරයේ වත්මන් සභාපති මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ජයන්ත ධර්මදාස මහතාගේ අනුශාසකත්වයෙන් ක්‍රියාත්මක නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සභාපති වික්ටර් රාමනන්, උප සභාපති හර්ෂිත් ධර්මදාස, ප්‍රධාන විධායක නිලධාරී සුරේෂ් අමරසේකර, අධ්‍යක්ෂ ජයප්‍රකාශ් රුද්‍රා, අධ්‍යක්ෂ ලලිත් කරුණාරත්න සහ අධ්‍යක්ෂ සුනිල් කන්නන්ගර යන මහත්වරුන් සමන්විත වෙයි.

Visits: 135