ජනපතිගෙන් මහබැංකු නිලධාරීන්ට චෝදනා

කොවිඩ්-19 වසංගතය හමුවේ කඩාවැටී ඇති ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කිසිදු පියවරක් ගෙන නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චෝදනා කරයි. අද පස්වරුවේදී මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු එහි ජ්‍යෙෂ්ට නිලධාරින් සමගින් ජනාධිපති මන්දිරයේදී පැවැති සාකච්ඡාවකදී ඔහු මෙම චෝදනා ඉදිරිපත් කර තිබේ.

විශේෂයෙන්ම ලෝකයේ මෙන්ම ආසියාවේද මහ බැංකු තම රටවල් පත්ව ඇති ආර්ථික අර්බුදයට පිළියම් ලෙස විවිධ යෝජනා ඉදිරිපත් කළත්, ශ්‍රී ලංකා මහ බැංකුව ඒ කිසිවක් නොකර රජය අපහසුතාවයට පත් කිරිමේ අරමුණින් කටයුතු කරමින් සිටින බවත් ජනපතිවරයා මෙහිදී චෝදනා කළේය.

“ඇමෙරිකා, ඔස්ට්‍රේලියාව සහ ජපානය වගේම අපේ රට වටේ තියෙන පොඩි රටවල මහ බැංකු පවා මේ බලාපොරොත්තු නොවූ අවස්ථාවේදී තමන්ගේ ආර්ථික ගොඩනංවන්න වැඩසටහන් ඉදිරිපත් කරනවා. දැන් අපි මොකක්ද මෙතැනදී කරලා තියෙන්නේ. අපේ මහ බැංකුව මේ ගැන කිසිම දෙයක් කරලා නැහැ.”

රටෙහි මුදල් සහ මූල්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීම මහ බැංකුවත්, භාණ්ඩාගාරයත් හරහා සිදු වන බව පැවසූ ජනපතිවරයා, එය සිදු විය යුත්තේ රටේ ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්තියට ගැලපෙන ලෙස බවද ජනපතිවරයා මෙහිදී සඳහන් කළේය.

“ඔයගොල්ලෝ ළග විවිධ ක්‍රමවේද තියෙනවා. ඒ ක්‍රමවේද පාවිච්චි කරන්න. හැබැයි මහ බැංකුව මේ කිසිම ක්‍රමවේදයක් පාවිච්චි නොකරන නිකං නිදාගෙන ඉන්නවා. අපි කිව්වේ රුපියල් බිලියන 150ක් මේ බැංකුවලට දෙන්න කියලයි. මේක ව්‍යාපාරවල වැරැද්දක් නෙමෙයි. පසුගිය වැරැදි නිසා හැම සමාගමකටම රජයෙන් විශාල මුදලක් ගෙවන්න තියෙනවා. මේ මුදල මේ අයට ආරක්ෂාවක් විදියට තියාගෙන බැංකුවලින් ණයක් ගන්න අවස්ථාව දෙන්න. එතකොට පුළුවන් ඒ අයට මේ ආර්ථිකය ගෙනියන්න. මුදල් හුවමාරුව තමයි මෙතැනදී ප්‍රධාන වෙන්නේ. එය හරිම සරල කාරණයක්. ඒත් ඔයගොල්ලෝ මොනවද කරන්නේ. ඔයගොල්ලෝ කරන වැරදි එන්නේ රජය පිට. දැන් බලන්න මූල්‍ය සමාගම්වලට වෙලා තියෙන දේ. ඔයගොල්ලන්ගේ වගකීමනේ මේ මූල්‍ය සමාගම් නියාමනය කිරීම සහ කළමනාකරණය කිරීම. ඒවා කරන්නෙත් නෑ. කල්බදු සමාගම් ගැන බලන්නේත් නෑ.”

ඊ.ටී.අයි. සමාගම මෙන්ම ද ෆිනෑන්ස් සමාගමේ සිදුව ඇති අර්බුද සම්බන්ධයෙන්ද මහ බැංකුව කිසිවක් කර නොමැති බවත් ජනපතිවරයා මෙහිදී චෝදනා කළේය.

“ඔතන ඉන්නේ ලක්ෂ ගණන් පඩි ගන්න ආර්ථිකවිද්‍යාඥයෝ නේද. ඔය ගොල්ලන්ට වගකීමක් තියෙනවා මේ අර්බුදය යටතේ නිදාගන්නේ නැතිව, ඔය ගොල්ලෝ ගාව තියෙන විවිධ ක්‍රමවේද හරහා පිළිතුරු හොයන්න. මම ඔයගොල්ලන්ට ක්‍රමවේදයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක ඕගොල්ලන්ට කරන්න බැරි නම් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් ක්‍රමවේදයක් හෙට උදේ හරි මට ඉදිරිපත් කරන්න.”

මෙහිදී වෙනත් රටවල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් බේරා ගැනීම සඳහා එම රටවල මහ බැංකු සිදු කරන කටයුතු පෙන්වා දුන් ජනපතිවරයා එවැන්නක් මෙතෙක් ශ්‍රී ලංකා මහ බැංකුව  වෙතින් සිදුව නොමැති බවද පෙන්වා දුන්නේය.

“ඔය ගොල්ලෝ හරියට රාජකාරි කරනවා නම් මට මේ විදියට කතා කරන්න ඕනේ නෑ. දැන් මම මාස අටක් බලයට පත්වෙලා. ආපු දවසේ ඉදලා අපි කියනවා මේ වැටුණු ආර්ථිකය ගොඩ ගමු කියලා. මට වුවමනා නැහැ ගිය ආණ්ඩු කරපු වැරදි ගැන කතා කරන්න. නමුත් ඔයගොල්ලොම දන්නවා නේ. ඔය බැංකුවේ හොරකම් කරන කොටත් ඔයගොල්ලොම නේ හිටියේ. ඒ ගොල්ලන්ටත් සහයෝගය දුන්නා නම් ඇයි මම ඉල්ලන මේ සාධාරණ දේට වැඩ කරන්න බැහැ. ජනතාවත් දැනගන්න ඕනේ මේ නිලධාරීන්ගේ වැඩ. ජනතාව මට විශාල බලයක් දීලා තියෙනවා මේ රට හදන්න. මම ඉල්ලන්නේ මේ රට හදන්න මට ඉඩදෙන්න කියලයි.” ජනපතිවරයා මහ බැංකු ප්‍රධානීන්ට මෙහිදී පවසා සිටියේය.

Views: 67