මහ බැංකුව ජනපති ඉල්ලූ රු. බිලියන 150 න් 115ක් දෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අද (2020 ජූනි 16 දා) රැස්වී ගනු ලැබූ තීරණයකට අනුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2.00% දක්වා පදනම් අංක 200 කින් අඩු කිරීමට තීරණය කළ බව මහ බැංකුව නිවේදනයක් මගින් පවසයි.

ඒ අනුව බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අද දිනයෙන් ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ කාලපරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට තීරණය කර ඇතැයි එහි සඳහන් වෙයි.

ඒ  සමගම මෙම අඩු කිරීම තුළින් දේශීය වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 115ක අතිරේක ද්‍රවශීලතාවක් සැපයෙන අතර, එමගින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩු කිරීමටත්, ආර්ථිකයේ ප්‍රවාහ ගලා යෑම වේගවත් කිරීමටත් මූල්‍ය පද්ධතියට හැකියාව ලබා දෙන බවද මහ බැංකුව සඳහන් කරයි.

පසුගිය මාර්තු මාසයේ 27 වැනිදාද මහ බැංකුව රුපියල් බිලියන 27.5ක මුදලක් මෙම ප්‍රතිමූල්‍ය වැඩසටහන හඳුන්වාදීමේදී ලබා දී තිබේ. එහිදී මහ බැංකුව 1.00% සහනදායී පොළී අනුපාතයකට මුදල් ලබා දෙන අතර, ලියාපදිංචි වාණිජ බැංකු දේශීය ව්‍යාපාර වෙත 4%ක පොළියකට ලබා දීම එහි වූ කොන්දේසිය විය.

කොවිඩ්-19 වසංගතය නිසා ඇතිව තිබෙන ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මේ දක්වා කිසිවක් සිදු කර නොමැති බවට ජනපතිවරයා අද දහවල් මහ බැංකු ප්‍රධානීන් හට දැඩි චෝදනා එල්ල කළේය. එහිදී ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා තමන්ගේ යෝජනාව අනුව ඉල්ලූ රුපියල් බිලියන 150ක මුදල ලබා දීමට කටයුතු කරන ලෙසද ඔහු පවසා සිටියේය. එසේ නොවේ නම් මහ බැංකුවේ යෝජනා හෙට දිනය වන විට ඉදිරිපත් කරන ලෙසද ජනපතිවරයා එහිදී මහ බැංකු ප්‍රධානීන්ට නියෝග කර සිටියේය.

ජනපතිවරයාගේ මෙම අදහස් දැක්වීම මාධ්‍ය තුළ ඉතාමත් වේගයෙන් හුවමාරු වූ අතර, තමන්ට හිමි වූ ජනවරම අනුව රට කරගෙන යාම සඳහා ලක්ෂ ගණන් පඩිගන්නා මහ බැංකුවේ නිලධාරීන්  අකුල්හෙලන බවටද ඔහු එහිදී පවසා සිටියේය. ඒ අනුව ජනපතිවරයාගේ චෝදනා වෙත පිළිතුරු ලෙස මහ බැංකුව මෙම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කර තවත් රුපියල් බිලියන 115ක අතිරේක ද්‍රවශීලතාවක් සපයා ඇතැයි බොහෝ විචාරකයන්ගේ අදහස වී තිබේ.

මේ අතර ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 150කින් අඩු කිරීම සහ බැංකු අනුපාතිකය පදනම් අංක 550 කින් අඩු කිරීමද ඇතුළුව දැනටමත් ක්‍රියාවට නංවා ඇති අනෙකුත් බොහෝ ලිහිල්කරණ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අමතරව අද දින ගත් මෙම තීරණයත් සමග 2020 වසරේ මේ දක්වා කාලය තුළදී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පදනම් අංක 300 කින් පහළ දමා ඇතැයිද මහ බැංකුව පවසයි.

ඒ අනුව අඩු පිරිවැයක් යටතේ ව්‍යාපාර සහ කුටුම්භ වෙත ණය ලබාදීම ඉහළ නංවමින් මූල්‍ය අංශය විසින් ඉහළ  මට්ටමේ ද්‍රවශීලතාව සහ අරමුදල් පිරිවැය පහළ යෑමෙහි ප්‍රතිලාභය ආර්ථිකය වෙත ප්‍රමාදයකින් තොරව ලබා දීම සඳහා කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද මහ බැංකුව මෙහිදී සඳහන් කරයි.

එසේම මුදල් මණ්ඩලය විසින් ආර්ථික සහ මූල්‍ය වෙළෙඳ පොළ වර්ධනයන් අඛණ්ඩව සුපරීක්ෂණය කරනු ඇති බවත්, ඉතිරි කාලයේදී ආර්ථික ක්‍රියාකාරීත්වයෙහි තිරසාර නඟාසිටුවීමකට සහාය වීම සඳහා තවදුරටත් ප්‍රතිපත්ති සහ නියාමන ක්‍රියාමාර්ග ගනු ඇති බවත් පවසයි.

කෙසේ වෙතත් ජනපතිවරයා මෙලෙස මහ බැංකුව වෙත සහ එහි නිලධාරීන් වෙත චෝදනා කිරීම ඇතැම් පාර්ශ්ව දැඩි දෝෂදර්ශනයට ලක් කර තිබේ. එහිදී මහ බැංකුව වඩා ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක විය යුතු බව ඔවුන්ගේ අදහසයි.

සබැදි පුවත් –
ජනපතිගෙන් මහබැංකු නිලධාරීන්ට චෝදනා
ද ෆිනෑන්ස් කඩා වැටීමට මහ බැංකුව වගකිව යුතුයි – අගමැති මහින්ද
ආර්ථිකය ක්‍රියාවලියේ දායකත්වයට මහ බැංකු ප්‍රතිපත්ති පොළී අනුපාතික තවත් පහළට
පසුගිය රජය පත් කළ මුදල් මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

Visits: 135