අත්යන්ත්‍ර හා බතික් රෙදි පිළි වගේම අත්කම් නිර්මාණත් ආනයනය තහනම් කරන්න – ජාතික ශිල්ප සභාවේ හිටපු සභාපති බුද්ධි කීර්තිසේන
අත්යන්ත්‍ර සහ බතික් රෙදි පිළි මෙරටට ආනයනය නතර කිරීම සඳහා අදාළ අංශ වෙත උපදෙස් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිනයේදී පියවර ගත්තේය. රෙදි පිළි සහ ඇගලුම් කර්මාන්තයේ නිරතවූවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී එම තීරණය ගැනු ලැබුණි.
ඒ හරහා මෙරට තුළ බතික් සහ අත්යන්ත්‍ර රෙදි පිළි කර්මාන්තයේ යෙදෙන නිෂ්පාදකයන් නගා සිටුවමින් තවත් නිෂ්පාදකයන් ඊට ආකර්ෂණය කරගැනීම අපේක්ෂාව බව ජනාධිපති කාර්යාලය පවසයි.
අත්යන්ත්‍ර සහ බතික් රෙදි පිළි කර්මාන්ත ඇතුළුව ඇඟලුම් සහ රෙදි පිළි ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වී තිබේ.
ජනපතිවරයා ගත් මෙම පියවර සම්බන්ධයෙන් මෙරට බතික් කර්මාන්තයේ කැපී පෙනෙන චරිතයක් වන බුද්ධි කීර්තිසේන මහතාගෙන් ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ අපි කරුණු විමසා සිටියෙමු. එහිදී අදහස් දැක්වූ ඒ මහතා, ඊයේ පැවැති මෙම සාකච්ඡාවේදී ජනපතිවරයා ගත් තීරණය ඉතාමත් වැදගත් බව පවසා සිටියේය. එහෙත් මෙහිදී අත්යන්ත්‍ර රෙදි පිලි සහ බතික් කර්මාන්තය සඳහා පමණක් අවධානය යොමු කර තිබූ බවත්, සමස්ත හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයම මෙම ආනයනික නිෂ්පාදන නිසා බලපෑමට ලක්ව ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
“වසර ගණනාවක් තිස්සේම අපි විදේශීය බතික් නිෂ්පාදන වගේම හස්ත කර්මාන්ත නිෂ්පාදනත් අපේ රටට ගෙන්වන්න එපා කියලා අපි දිගින් දිගටම පැවැති හැම රජයකින්ම වගේ ඉල්ලා සිටියා. ඒත් මේ ජනපතිතුමා තමයි ඒ සඳහා යම් ක්‍රියාමාර්ගයක් ගන්න උත්සාහ කරන බව පේන්න තියෙන්නේ. හැබැයි අපි මෙතැනදී කියන්න ඕනෑ බතික් නිෂ්පාදන සහ අත්යන්ත්‍ර රෙදි පිළි විතරක් නෙමෙයි, හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ සියලුම ආකාරයේ නිෂ්පාදනත් අපේ රටට ආනයනය කිරීම නැවැත්විය යුතුයි.”
බතික් නිර්මාණ ක්ෂේත්‍රය තුළ දෙස් විදෙස් කීර්තියට පත්ව ඇති කීර්තිසේන මහතා ‘බුද්ධි බතික්ස්’ හි නිර්මාතෘවරයාය. එසේම අවස්ථා කිහිපයකදීම ජාතික ශිල්ප සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත. ඒ මහතා අද වනවිට ‘හෑන්ඩ්ස් ඔෆ් ශ්‍රී ලංකා’ ජාතික ශිල්ප කලා සංවිධානයේ වර්තමාන සභාපතිවරයාද වෙයි. මේ අත්දැකීම්ද සමගින් හස්ත කර්මාන්ත ශිල්පීන් සහ ඔවුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් මනා අවබෝධයක්ද ඒ මහතා සතුව ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කීර්තිසේන මහතා සෑම අත්කම් නිර්මාණයක්ම පාහේ චීනයෙන් නිෂ්පාදනය කර මෙරටට ආනයනය කරන තත්ත්වයක් පසුගිය කාලසීමාවේදී උදා වී තිබූ බවත්, මේ හේතුවෙන් මෙරට දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ ජීවනවෘත්තිය දැඩි අවධානමට ලක්ව තිබූ බවත් සඳහන් කළේය.
“අද මේ නිර්මාණකරුවන්ගේ නිර්මාණවලට මිලක් නැති වෙලා. ඒ නිසා ඔවුන්ගේ උනන්දුව අඩු වෙලා. චීනයෙන් එන්නේ ඉතාමත් බාල නිර්මාණ. ඒවා ඉතා හොඳ නිර්මාණ කියලා විකුණනවා. ඒක නිසා මේ ආනයන නැවැත්වීම බතික්, අත්යන්ත්‍ර රෙදි පිළි ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි සම්පූර්ණ හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය තුළම සිද්ධ විය යුතුයි.”
මේ අතර, සංචාරක කර්මාන්තයේ කඩාවැටීම නිසා දේශීය හස්ත කර්මාන්තශිල්පියාද අර්බුදයට ලක්ව ඇති බවට ඇතැමුන් ප්‍රකාශ කළත්, සංචාරක කර්මාන්තය පැවැති සමයේදී පවා පැමිණි විදෙස් නිෂ්පාදන නිසා එම කර්මාන්තකරුවා අර්බුදයට ලක්ව සිටි බව බුද්ධි කීර්තිසේන මහතා පවසයි.
“සංචාරක කර්මාන්තය හොඳට තිබුණු කාලයේදී පවා විදේශිකයන්ට අලෙවි වුණේ ආනයනය කරපු මේ චීන නිර්මාණ තමයි. ඒ නිසා එදා මෙදා කියලා වෙනසක් නැහැ. හස්ත කර්මාන්ත ශිල්පියාට කොහොමත් අර්බුදයේ තමයි හිටියේ.”
විශේෂයෙන්ම හස්ත කර්මාන්තය යනු රටේ සංස්කෘතිය බවත්, එවැනි දෑ වෙනත් රටකින් ගෙනැවිත් අලෙවි කිරීම හරහා එය මතින් යැපෙන පිරිසගේ අනාගතය විනාශ වන බවත්, ඒ නිසා ජනපතිවරයාගේ දැඩි අවධානයද මේ සඳහා යොමු විය යුතු බවත් බුද්ධි කීර්තිසේන මහතා සඳහන් කරයි.
“ඊයේ දිනයේදී වුණත් බතික් කර්මාන්තකරුවන් පිරිසක් තමයි ජනපතිවරයා හමුවෙන්න ගියේ. නමුත් මීට වඩා පුළුල් හස්තකර්මාන්ත ක්ෂේත්‍රයක් ලංකාවේ තියෙනවා. ඒ නිසා ඒ ගැටලු සඳහා පියවර ගත යුතුව තිබෙනවා. හැබැයි මේ විදියට හරි මේ ආරම්භ කරපු වැඩ පිළිවෙලව මම ඉතාමත් අගය කරනවා.”
මේ අතර, හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය පුරා තවමත් නොවිසඳුනු ගැටලු රැසක්ම පවතින බවත් කීර්තිසේන මහතා මෙහිදී සඳහන් කළේය. ජාතික ශිල්ප කලා සංවිධානයේ වර්තමාන සභාපතිවරයා ලෙස සිය සංවිධානය මේ ගැටලු ගැන සාකච්ඡා කිරිම සඳහා ජනපතිවරයාගෙන් අවස්ථාවක් ඉල්ලා ඇතැයිද හෙතෙම මෙහිදී පවසා සිටියේය.
“එක අංශයක් විතරක් නෙමෙයි. අපිට ගොඩක් ප්‍රශ්න තියෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් මේ රටේ හැම බැංකුවක් වගේම තමන්ගේ දේශීයත්වය පෙන්වන්න සේසත්, වෙස්මුහුණු, ලාක්ෂා නිර්මාණ වගේ දේවල් ප්‍රදර්ශනය කරනවා. හැබැයි මේ දේවල්වල නිර්මාණකරුවාගේ සංවර්ධනය වෙනුවෙන් යම් උදව්වක් කරන්න කිව්වම ඒ බැංකුවලින් ඉදිරිපත්වීමක් නැහැ. හැබැයි හැමතැනකම සේසත් ප්‍රදර්ශනය කෙරෙනවා. තාමත් ඒ ශිල්පියාට වටිනාකමක් නැහැ.”
මෙලෙස වටිනාකම හිමි නොවීම නිසා සේසත් කර්මාන්තය, වෙස්මුහුණු කර්මාන්තය, ලාක්ෂා කර්මාන්තය අද වනවිට අභාවයට යන තත්ත්වයකට පත් ඇතැයිද බුද්ධි කීර්තිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Views: 277