උමා ඔයේ වැඩ නිමකිරීමට ඉරානයෙන් 85ක් එයි

උමා ඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ නිම කිරීමට ඉරාන කාර්මික ශිල්පීන් 85 දෙනෙකු ඊයේ දිනයේදී මෙරටට පැමිණි බව ජනාධිපති කාර්යාලය පවසයි.

මේ වනවිට උමා ඔය ව්‍යාපෘතියේ වැඩ 95% කින් පමණ අවසන් කර ඇති බවත්, ඉතිරි වැඩ කොටස මේ වසරේ දෙසැම්බර් මාසයට පෙර නිම කිරීමට අපේක්ෂිත බවත් රජය පවසයි. මෙම ව්‍යාපෘතිය හරහා ජාතික ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 120ක ජල විදුලි බලයක් එක් කිරිම සැලසුම වී තිබේ.

පැමිණි මෙම පිරිස පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසු යුද හමුදාව විසින් නිරෝධායනයට යොමු කෙරුණු බවත් සඳහන් වෙයි. එසේම නිරෝධායන කාලසීමාවෙන් අනතුරුව මොවුන් සඳහා දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයක්ද සිදු කරන බවත් ව්‍යාපෘතියේ වැඩවලට යෙදවීමට ඔවුන් පියවර ගැනීම ඉන් අනතුරුව සිදුවීමට නියමිතව ඇත.

2008 වසරේදී ඉරානයේ අපනයනය සංවර්ධන බැංකු ණය ආධාර මත මෙම උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. මහවැලි ගගෙහි අත්තක් වන උමා ඔයේ අතිරික්ත ජලය අසල්වැසි කිරිඳි ඔය ද්‍රෝණියට හරවා යැවීම මෙම ව්‍යාපෘතිය මගින් සිදු වෙයි.  එම ජලය රැගෙන යන ගමනේදී භූගත ජල විදුලි බලාගාරයක් හරහා විදුලිය උත්පාදනය සැලසුම වී තිබේ.

ඒ අනුව මේ වනවිට වසර 12කට ආසන්න කාලයක් මෙම ව්‍යාපෘතිය සඳහා වැය වී ඇත. ව්‍යාපෘතියේ සමස්ත ඇස්තමේන්තුගත වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 514 කි. ඉන් 85%ක මුදලක් ඉරාන රජය විසින් දැරීමට එකඟතාවට පැමිණ තිබුණි. ඉතිරි 15% ශ්‍රී ලංකා රජය විසින් දැරීමට එකඟ වී තිබේ.

කෙසේ වෙතත් ඉරානයට බලපෑ ජාත්‍යන්තර සම්බාධක නිසා එම මුදල් ප්‍රමාණය නිදහස් කිරීමේ හැකියාවක් නොමැතිවීමෙන් එහි බර දැරීමට ශ්‍රී ලංකා රජයට සිදු වී තිබේ. එසේම විවිධ පරිසර ගැටලු සහ ජනතා විරෝධතාද මෙම ව්‍යාපෘතිය පමා කිරිමට හේතු විය. එහිදී පීඩාවට පත් ජනතාව වෙනුවෙන් වන්දි ගෙවීමටද රජයට සිදු විය. ඊට අමතරව එක් අවස්ථාවකදී උමා ඔය ප්‍රධාන උමං මාර්ගයේ සිදු වූ ජල කාන්දුව නිසාද සැලකිය යුතු කාලයක් එය පමා විය.

Visits: 47