බැංකු ඇතුළු සමාගම් රැසක සභාපති ධුර දැරූ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ දෙටු පුත් අද නික්ම යයි

මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් මෙන්ම  බැංකු ඇතුළු සුප්‍රසිද්ධ සමාගම් රැසක සභාපති ධුරය හෙබ වූ අභාවප්‍රාප්ත සරත් කුසුම් වික්‍රමසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ල කනත්තේදී සිදුවන බව එම පවුලේ සාමාජිකයන් පවසයි. ඒ මහතා හෙළයේ මහා ගත්කරු වූ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨතම පුත්‍රයාද වෙයි.

1928 ජනවාරි 26 වැනිදා උපත ලබා ඇති සරත් කුසුම් වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත වන විට 92 හැවිරිදි වියේ පසුව තිබේ. ඔහු දිගු කලක් මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන සරත් කුසුම් වික්‍රමසිංහ මහතා ලංකා කෙමිකල් ඉන්ඩස්ට්‍රීස්, ඊගල් රක්ෂණ සමාගම, කෙමිස්ට් ආයතනය, කොමර්ෂල් බැංකුව (1989-1994) වැනි ආයතන ගණනාවක සභාපති ධුර හොබවා ඇතැයි සඳහන් වෙයි.

1995 වසරේදී බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වශයෙන් පත්ව ඇති වික්‍රමසිංහ මහතා, 1999 වසරේදී යළි මෙරටට පැමිණ ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සභාපති ධුරයට (1999-2008) පත්ව තිබේ.

එසේම ඔහු ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙසද, ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ ප්‍රධානියා ලෙසද කලක් කටයුතු කර ඇත.

සරත් කුසුම් වික්‍රමසිංහ  මහතාගේ දේහය කොළඹ 05, ක්ලෙසන් ඇවනිව්හි අංක 8 දරන ස්ථානයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු අද (13දා) සවස 4ට බොරැල්ල කතත්තේදී සිදු කෙරෙන බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

සුසන්ත චන්ද්‍රවර්ණ, වසන්ත කුමාර, රූපා මාලනී, හිමාංශු රංග, ඌෂා හා යුනී ලෙස සරත් කුසුම් මහතාට සහෝදර සහෝදරියන් හය දෙනෙකු වෙති.

Views: 169