2019 දී ලොතරැයි ආදායම් 8% කින් ඉහළටලු

පසුගිය වසරේදී මෙරට ලොතරැයි අලෙවිය හරහා ලැබුණු ආදායම රුපියල් මිලියන 39,884 ක් බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ අනුව එම ආදායම 2018 වසරේදී ලොතරැයි අලෙවියෙන් හිමි කරගත් රුපියල් මිලියන 37,021 ක් වූ ආදායමට සාපේක්ෂව 8% ක වර්ධනයකි. මුදල් අමාත්‍යාංශයේ 2019 වාර්ෂික වාර්තාව තුළ මේ බව සඳහන් වෙයි.

එම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය හරහා මෙම ලොතරැයි පත් අලෙවි කිරීම සිදු වෙයි. ඒ යටතේ ජාතික ලොතරැයි මණ්ඩලය මගින් එකිනෙකට වෙනස් ලොතරැයි සන්නාම 17ක් දිනුම් අදින අතර, සංවර්ධන ලොතරැයිය මගින් දිනුම් අදින ලොතරැයි සන්නාම සංඛ්‍යාව 11 කි.

ඉන් ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ලැබෙන ආදායම ඒකාබද්ධ අරමුදල් ඇතුළු අනෙකුත් අරමුදල් වෙත බැර වෙන අතර, සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ලැබෙන ආදායම් ජනාධිපති අරමුදලට සහ මහපොළ භාරකාර අරමුදල වෙත බැරවෙයි. එහිදී මෙම මණ්ඩල දෙක හරහාම උපයා ගන්නා ආදායමින් 12%ත් 14%ත් අතර ප්‍රමාණයක් ඉහත කී අරමුදල් සියල්ල වෙත බෙදී යයි.

මේ අතරින් ජාතික ලොතරැයි මණ්ඩලය මගින් 2019 වසරේදී උපයා ගෙන ඇති ආදායම රුපියල් මිලියන 21,439කි. එය 2018 දී ඉපැයූ රුපියල් මිලියන 19,675ට සාපේක්ෂව 9%ක වර්ධනයකි. කෙසේ වෙතත් එම වසරේදී එම ආයතනයේ සමස්ත පිරිවැය රුපියල් මිලියන 20,397කි. එය 2018 වසරේ පිරිවැයවූ 18,924ට සාපේක්ෂව 7.8%ක ඉහළ යාමක්ද වෙයි.

එසේම 2019 දී ජාතික ලොතරැයි මණ්ඩලයේ බදු පෙර දළ ලාභය රුපියල් මිලියන 1,323ක් වන අතර ආදායම් බදු ලෙස රුපියල් මිලියන 717ක් ගෙවා තිබේ. ඒ අනුව බදු පසු දළ ලාභය රුපියල් මිලියන 606 කි. මීට අමතරව ඒකාබද්ධ අරමුදල වෙත ජාතික ලොතරැයි මණ්ඩලය විසින් 2019 වසරේදී රුපියල් මිලියන 2,638ක මුදලක් ලබා දී ඇත. එය 2018 දී ලබාදුන් රුපියල් මිලියන 2,427ක මුදල හා සාපේක්ෂව 8.7%ක වර්ධනයකි. ඒ අනුව ආයතනය 2019 දී ඒකාබද්ධ අරමුදල වෙත ලබා දී ඇති දායකත්වය 12.3%කි.   

මේ අතර, සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් 2019 වසරේදී උපයා ගෙන ඇති ආදායම රුපියල් මිලියන 17,361 කි. එය 2018 වසරේදී ඉපැයූ රුපියල් මිලියන 16,171ට සාපේක්ෂව 7.4%ක වර්ධනයකි. එහෙත් එම වසරේදී එහි සමස්ත පිරිවැය රුපියල් මිලියන 14,237ක් ලෙස සටහන්ව තිබේ. එය 2018 දී වාර්තා කළ පිරිවැය වූ රුපියල් මිලියන 13,223 ට සාපේක්ෂව 7.7%ක වර්ධනයකි.

එසේම එහි බදු පෙර ලාභය රුපියල් මිලියන 2,897ක් වන අතර ආදායම් බදු ලෙස රුපියල් මිලියන 235ක් ගෙවා අවසානයේදී රුපියල් මිලියන 2,662 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව සිටියි. එසේම සංවර්ධන ලොතරැයි මණ්ඩලය ජනපති අරමුදල වෙත ලබා දී ඇති දායකත්වය රුපියල් මිලියන 2,428 කි. එය 2018දී සමාගම දැක්වූ දායකත්වය මෙන් 18%ක වර්ධනයකි. ඒ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් ජනපති අරමුදල වෙත 14%ක දායකත්වයක් ලබා දී තිබේ.

Visits: 45