ලෝහ ආශ්‍රිත නිෂ්පාදකයන්ගේ දත්ත එකතු කරයි

රට තුළ ලෝහ පදනම් කරගත් නිෂ්පාදන කර්මාන්තයන්හි නියැලී සිටින කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් පිළිබඳ දත්ත සමුදායක් පිළියෙල කිරීම සඳහා සමීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බව කාර්මික සංවර්ධන මණ්ඩලය පවසයි.

කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය මගින් මෙම සමීක්ෂණය සඳහා කටයුතු යොදා තිබේ. ඒ හරහා ලෝක ආශ්‍රිත දේශීය කර්මාන්ත සංවර්ධනය සඳහා සහාය වීම, ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට පහසුකම් සැලසීම, දේශීය කර්මාන්ත සඳහා වන ලෝහ හා ලෝහ සුන්බුන් අවශ්‍යතාව තක්සේරු කරගැනීම මෙම සමීක්ෂණයේ අරමුණ බව කාර්මික සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

එහිදී කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරියෙකු එම සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් සම්බන්ධ කරගනු ඇතැයි එම මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒ අනුව 2020 ජූනි සහ ජූලි යන මාසවලදී එම නිලධාරීන් අදාළ කර්මාන්ත ආයතන වෙත පැමිණෙනු ඇති බවත්, මෙම සමීක්ෂණය වෙත සහාය දක්වන ලෙස සියලුම කර්මාන්තකරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් කාර්මික සංවර්ධන මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

මෙම සමීක්ෂණය පිළිබද වැඩිදුර තොරතුරු අධ්‍යක්ෂ, ප්‍රාදේශීය සංවර්ධන, කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා ලබා ගත හැකිය. එසේම දුරකතන අංක 0112605380 හරහා ඇමතීමෙන් මෙන්ම idbrddgov@gmail.com ඊමේල් ලිපිනය හරහාද පැහැදිලි කරගැනීමක් සිදු කරගත හැකි බවත් එම මණ්ඩලය පවසයි.

Views: 64