ලීසිං සමාගම් වෙත ජනපතිගෙන් තරවටුවක්

ලීසිං පහසුකම් යටතේ වාහන මිලට ගෙන ණය වාරික ගෙවීමට අසමත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කරගැනීමට ලීසිං සමාගම් අනුගමනය කරන ක්‍රමය නීතිවිරෝධී බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ අනුව එවැනි අවස්ථාවන්ට කිසිසේත්ම ඉඩ නොතබන්නැයි ජනපතිවරයා පොලිසිය නියෝග කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

“ලීසිං සමාගම් එසේ වාහන අත්පත් කරගැනීමට පෙර පොලීසිය දැනුවත් කරන්නේ නැහැ. ඔවුන් පොලීසියට පැමිණි කරන්නේ වාහනය අත්පත් කරගැනීමෙන් පසුවයි. බලහත්කාරී ලෙස කරන මෙවැනි පැහැර ගැනීම් ඇතැම් විට බරපතල ප්‍රචණ්ඩත්වයට මුල් වී තිබේ.” ජනපතිවරයා පවසා ඇත.

ඒ අනුව අත්පත් කරගැනීමෙන් පසු ලැබෙන පැමිණිලි නැවත දැනුම් දෙනතුරු භාර නොගන්නැයිද ජනපතිවරයා මෙහිදී වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් ලබා දී ඇතැයිද ජනපති මාධ්‍ය අංශය පවසයි.

විශේෂයෙන්ම කොවිඩ්-19 ව්‍යාප්තිය සමග පීඩාවට පත් විවිධ කණ්ඩායම්වලට රජය ප්‍රදානය කළ සහන සමූහය  යටතේ ත්‍රීවිලි රථ හිමියන් විසින් ගෙවනු ලබන ලීසිං ණය වාරික අය කරගැනීම මාස 6කට අත්හිටුවා ඇතැයිද, ඒ බව ජනපති ලේකම්වරයාගේ අත්සනින් පසුගිය මාර්තු 23 වැනිදා නිකුත් කරන ලද 16/2020 චක්‍රලේඛයේ දෙවැනි වගන්තියේ සඳහන්වන බවද ජනපති කාර්යාලය පවසයි.

“එසේ තිබියදී ණය වාරිකය නොගෙවීම මත වාහන අත්පත් කරගැනීම රජයේ නියමය කඩ කිරීමකි.” යනුවෙන් ජනපතිවරයා මෙහිදී පවසා තිබේ. ඒ අනුව ණය වාරික නොගෙවීම මත වාහන අත්පත් කරගැනීමට ඉඩ නොතබන ලෙස ද ජනපතිවරයා පොලිසිය වෙත දැනුම් දී තිබේ.

පසුගියදා නුගේගොඩ ප්‍රදේශයේ ලීසිං සමාගමක සිදුවූ පහරදීමකින්, ණය වාරික නොගෙවීම නිසා ගැටලුවකට පත්ව තිබූ ත්‍රීවීල් රථයකට අදාළ කාරණාවක් සාකච්ඡාවට ගිය සමස්ත ලංකා ත්‍රීවිල් රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා ඝාතනයට ලක් විය. එම අවස්ථාවේදී ලීසිං සමාගමේ රැඳී සිටි ලීසිං වාරික නොගෙවන වාහන අත්පත් කරගන්නන් හෙවත් සීසර්වරුන් කිහිප දෙනෙකු මෙම ඝාතනයට වගකිව යුතු බව හඳුනාගෙන තිබේ.

Visits: 93