ණය සහනය ලැබුවාට බැංකු අර්බුදයට පත් නොකරන ලෙස මහ බැංකුවෙන් ඉල්ලීමක්

ණය සහනය ලැබුවාට බැංකු අර්බුදයට පත් නොකරන ලෙස මහ බැංකුවෙන් ඉල්ලීමක්

කොවිඩ්-19 වසංගතයෙන් බලපෑමට පත් ව්‍යාපාර හා පුද්ගලයන් හට සහන ලබා ගැනීම සඳහා මහ බැංකුවේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක ණය සහනය සහ කාරක ප්‍රාග්ධන ණය පහසුකම් ඇතුළු පහසුකම් භුක්ති විඳීමේදී ණය දුන් බැංකු අර්බුදයට පත් නොකරන ලෙස මහ බැංකුව එම ව්‍යාපාර හා පුද්ගලයන්ගෙන් ඉල්ලීමක් කරයි.

මෙම සහන පහසුකම් සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමාව මැයි 15 වැනිදා දක්වා දීර්ඝ කළ බව දන්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන් වෙයි.

“ණය සහන ලබා ගැනීමට සුදුසුකම් ලබන ව්‍යාපාර හා පුද්ගලයන් ඊට අදාළ තොරතුරු/ලේඛන කල් වේලා ඇතිව සිය බැංකු වෙත ලබා දීම අවශ්‍ය වෙයි. මෙම සහන අනුව අදාළ සුදුසුකම් ලබන ගනුදෙනුකරුවන්ගේ ණය පහසුකම්වල ආපසු ගෙවීමේ කාලය, ණය සහන කාලසීමාවෙන් දීර්ඝ කිරීමට බැංකු කටයුතු කළ යුතුය.” එහි සඳහන්ව තිබේ.

කෙසේ වෙතත් මෙම දීර්ඝ කළ කාලසීමාව, අමතර පිරිවැයකින් තොරව තම ණය පහසුකම් පියවා දැමීම සඳහා අවස්ථාවක් කරගන්නා ලෙසත්, එමගින් බැංකු හටද සිය ද්‍රවශීලතා තත්ත්වයන් ශක්තිමත් කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් මහ බැංකුව ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

මෙම වසංගතය හේතුවෙන් බැංකු ඇතුළු මූල්‍ය ආයතනයන්ගේ ඇතැම් ගනුදෙනුකරුවන් මුහුණපා ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ගනුදෙනුකරුවන් හට ණය සහන සහ 4%ක වාර්ෂික පොලී අනුපාතය යටතේ මාස දෙකක කාරක ප්‍රාග්ධන ණය පහසුකම් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව පැවතුණි. ඒ සඳහා අවසන් දිනය ලෙස අප්‍රේල් 30 නම්ව තිබුණි.  

එමෙන්ම රුපියල් 500,000 ට වඩා අඩු වටිනාකමින් යුත් වලංගු කාලය ඉක්ම ගොස් ඇති චෙක්පත්, බලපත්‍රලාභී බැංකු විසින් 2020 මැයි 15 දින දක්වා වලංගු සේ සැලකිය යුතු බවත්, මෙම කාල සීමාව දීර්ඝ කිරීම 2020 අප්‍රේල් 28 වැනි දින නිකුත් කරන ලද 2020 අංක 06 දරණ චක්‍රලේඛය මගින් ක්‍රියාත්මක කර ඇති බවත් මහ බැංකුව පවසා සිටියි.

Views: 181