රොක්ලන්ඩ් ඩිස්ටිලරීස් වසර කිහිපයක සිට අලි පැටවෙකුට කිරි පොවනවාලු

රොක්ලන්ඩ් ඩිස්ටිලරීස් වසර කිහිපයක සිට අලි පැටවෙකුට කිරි පොවනවාලු

මෙරට සුප්‍රසිද්ධ මත්පැන් නිෂ්පාදන සමාගමක් වන රොක්ලන්ඩ් ඩිස්ටිලරීස් සමාගම විසින් උඩවලව ඇත් අතුරු සෙවනේ රැකවරණය ලබන ගැහැණු අලි පැටවෙකුගේ භාරකාරීත්වය දැනට වසර දෙකකට ආසන්න කාලයක් පුරා දරමින් සිටින බව පවසයි. සමාගම මෙම පැටවා වෙත ‘රූබි’ යන නමද තබා තිබේ.

එම සමාගම මගින් පිහිටුවා ඇති The Ceylon Elephant Conservation Trust නම් භාරය හරහා මෙම කටයුතු සිදුවන බව සමාගම සිය Ceylon Arrack නම් ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබේ. මෙරට වන අලින් ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා දායකත්වය ලබා දීමේ අරමුණින් මෙම භාරය පිහිටුවා ඇත. ඒ අනුව මෙය එම භාරය මගින් දියත් කළ පළමු ව්‍යාපෘතිය ලෙසින්ද සැලකෙයි.

මෙම අලි  පැටවා වෙත ‘රූබි’ යන නම යෙදීම පිටුපසත් කතාවක් පවතින බව සමාගම පවසයි. 1862 වසරේදී ජෙරී තොම්සන් විසින් රචනා කරන ලද කොක්ටේල් මිශ්‍රණ සම්බන්ධයෙන් පළවූ ලෝකයේ පළමු ග්‍රන්ථය ලෙස සැලකෙන Bon Vivant’s Compani හි එන Ruby Punch නම් අරක්කු පාදක කරගත් නවතම ආරේ මිශ්‍රනය සිහිවීම පිණිස මෙම අලි පැටවියට රූබි යන නම යොදා තිබේ. (සමාගමේ ceylonarrack.com වෙබ් අඩවිය තුළද මෙම Ruby Punch කොක්ටේල් මිශ්‍රණය සකස් කරගන්නා ආකාරය සඳහන් කර තිබේ.)

වනාන්තරයේ අතරමංව සිටියදී හමුවුණු රූබි මේ වනවිට වසර අටකට ආසන්න කාලයක් උඩවලව ඇත් අතුරු සෙවනේ රැකවරණය ලබමින් සිටියි. වනාන්තරයේ වෙසෙන අලි රංචුවක් වෙත හඳුන්වාදීමට ප්‍රමාණවත් තරම් වයස් සීමාවක් පැමිණෙන තුරුම රූබි මෙලෙස ඇත් අතුරු සෙවනේ කල් ගත කරයි. තවත් තරුණ වයසේ පසුවන අලින් 19 දෙනෙකුද ඇය සමගින් එහි කෙළිදෙලෙන් පසුවන බවත් රොක්ලන්ඩ් ඩිස්ටිලරීස් සමාගමේ ෆේස්බුක් පිටුවේ සඳහන් වෙයි.

1924 වසරේදී පවුලේ ව්‍යාපාරයක් ලෙස ආරම්භ වුණු රොක්ලන්ඩ් ඩිස්ටිලරීස් සමාගම මේ වනවිට දෙස් විදෙස් සුප්‍රසිද්ධ මත්පැන් නිෂ්පාදන සන්නාමයක් බවට පත්ව තිබේ. අලෙවි වන මෙම සෑම මත්පැන් බෝතලයකින්ම මෙරට වනජීවී සංරක්ෂණ කටයුතු සඳහා මුදලක් වෙන් කෙරෙන බව එම සමාගම සඳහන් කරයි.

Visits: 89