ඉන්දියාව ලොක්ඩවුන් වීමෙන් ‘ලංකාසෝයි’ නිෂ්පාදනය ඇණ හිටලා

ඉන්දියාව ලොක්ඩවුන් වීමෙන් ‘ලංකාසෝයි’ නිෂ්පාදනය ඇණ හිටලා

සිලෝන් බිස්කට්ස් ලිමිටඩ් සමූහයට (CBL Group) අයත් කන්වීනියන්ස් ෆුඩ්ස් (ලංකා) පීඑල්සී සමාගමේ ප්‍රධානම නිෂ්පාදනයක් වන සෝයා ආශ්‍රිත ‘ලංකාසෝයි’ සෝයාමීට් නිෂ්පාදන කටයුතු පසුගිය කාලසීමාවේදී ඇණහිටීමකට ලක් වූ බව එම සමාගම පවසයි. පසුගියදා කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත ලිපියක් යවමින් සමාගම මේ බව පවසා තිබේ.  

මෙම ‘ලංකාසෝයි’ සෝයා මීට් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා සෝයා පිටි ඉන්දියාවෙන් ආනයනය කිරීමත්,  කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඉන්දියාව පැනවූ ලොක්ඩවුන් සීමා සමග එම සැපයුම් සිදුකරන ඉන්දියානු සැපයුම්කරුවාගේ සැපයුම් අඩාලවීමත් මේ සඳහා හේතු වූ බව කන්වීනියන්ස් ෆුඩ්ස් (ලංකා) පීඑල්සී සමාගම මෙහිදී කොටස් වෙළෙඳ පොළ වෙත සඳහන් කරයි.

කෝවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සිය ව්‍යාපාර කටයුතු වෙත එල්ල වී ඇති බලපෑමත්, ලැයිස්ගුත සමාගමක් ලෙස එම බලපෑම් වෙත මුහුණ දෙන ආකාරයත්, අනාගතයේදී කෝවිඩ්-19 නිසා සමාගමේ ව්‍යාපාර වෙත එල්ල වන බලපෑමත් යනාදිය සඳහන් කරන ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළ සිය ලැයිස්තුගත සමාගම් වෙත නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් කන්වීනියන්ස් ෆුඩ්ස් පීඑල්සී සමාගම කොටස් වෙළෙඳ පොළ වෙත මේ බව සඳහන් කර තිබේ.

“මේ සැපයුම් අස්ථාවරත්වය අවම කිරීම සඳහා අප වෙනත් රටවලින් සැපයුම්කරුවන් සොයා ගැනීමේ උත්සාහයේ නිරත වුණා. ඒ හරහා අපගේ සැපයුම් ප්‍රභවයන්ගේ පදනම තවත් පුළුල් කරගැනීම අරමුණක් වුණා. කෙසේ වෙතත්  උද්ගතව ඇති වර්තමාන තත්ත්වය හේතුවෙන් එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකමේ සිදුවූ අනපේක්ෂිත පහත වැටීම මෙන්ම එහි අනාගත හැසිරීම් සම්බන්ධයෙන්ද අමුද්‍රව්‍ය ආනයනය කර නිෂ්පාදන සිදු කරන සමාගමක් ලෙස අප ඉතාමත් සමීපව නිරීක්ෂණය කළ යුතු වෙනවා.” යනුවෙන්ද සමාගම මෙහිදී සඳහන් කර සිටියි.

මේ අතර කොවිඩ්-19 හේතුවෙන් රට පුරා පැනවුණු ඇඳිරි නීතිය හේතුවෙන් බෙදාහැරීමේ දාමය වෙත එල්ල වූ බලපෑමත් සිය කර්මාන්තශාලා තුළ පවත්වා ගත යුතුව තිබූ සෞඛ්‍ය සහ ආරක්ෂිත රෙගුලාසි හේතුවෙන් අඩු සේවක සංඛ්‍යාවක් සහභාගි කරවා ගැනීමත් හේතුවෙන් ඉතාමත් සීමිත නිෂ්පාදන කිහිපයක් පමණක් සිදු කිරීමට සිදු වූ බවත් කන්වීනියන්ස් ෆුඩ්ස් (ලංකා) පීඑල්සී සමාගම පවසයි.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදකයෙකු ලෙස සිය සමාගම මෙම ඇඳිරි නීතිය පැවැති කාලසීමාවේදී පවා සිය සැපයුම් නිරන්තරයෙන්ම වෙළෙඳ පොළ තුළ පැවතීමේ අරමුණින් මෙහෙයුම් සිදු කළ බවද සමාගම සඳහන් කරයි.

“මේ සමග ඇති වූ වඩාත් ධනාත්මක අවස්ථාව වන්නේ සිලෝන් බිස්කට්ස් ලිමිටඩ් සමූහයේ සාමාජිකයෙකු ලෙස  සිලෝන් බිස්කට්ස් ලිමිටඩ් හා එක්ව අපගේ නිෂ්පාදන එහි අන්තර්ජාල ප්‍රවාහය හරහා අලෙවි කිරීමට හැකියාව ලැබීමයි. මෙම පාරිභෝගිකයන් ප්‍රමාණය ඉදිරියේදී තවත් වර්ධනය වේයැයිද අප බලාපොරොත්තු වෙනවා.”

මේ අතර, දැනට රට තුළ මෙම කොවිඩ්19 වසංගතය ව්‍යාප්තවීම පාලනය සඳහා රජය ගෙන යන කටයුත්ත වෙත තමන් පූර්ණ සහාය ලබා දෙන බවත්, එහිදී අවම සේවක පහසුකම් යටතේ වුවද උපරිම ආරක්ෂාවක් යටතේ තමන් නිෂ්පාදන කටයුතු සිදුකරන බවත් සමාගම සඳහන් කරයි.

එසේම සමාගමේ අභ්‍යන්තර  මෙන්ම බාහිර පරිසරය වෙත නිරන්තර අවධානය යොමු කරමින්, සිය වියදම් පාලනය කරමින් ව්‍යාපාර තවදුරටත් පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් ‍මෙම ලිපියේ සඳහන් වෙයි. ඒ අනුව මෙම ගෝලීය අර්බුදකාරී අවස්ථාවෙන් මිදී මෙන් අනතුරුව සිය කොටස්කරුවන් වෙත සිය උපරිම වටිනාකම් පිරිනැමීමට කටයුතු කරන බවත් කන්වීනියන්ස් ෆුඩ්ස් (ලංකා) පීඑල්සී සමාගම පවසයි.

සිලෝන් බිස්කට්ස් ලිමිටඩ් සමූහයට (CBL Group) අයත් සමාගම් අතරින් එකක් වන කන්වීනියන්ස් ෆුඩ්ස් (ලංකා) පීඑල්සී සමාගම මගින් සෝයා ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම ජෙලි ක්‍රිස්ටල්, ක්ෂණික සුප් සහ කෙටි කෑම වර්ග නිෂ්පාදනය කරයි. ලංකාසෝයි, ගෝ ජෙලි, රසහරි සුප්, රම්බා, පැක්ටු පෑන් එම සමාගම යටතේ නිෂ්පාදනය කරන ආහාර වර්ගවල සන්නාම වෙයි.

කන්වීනියන්ස් ෆුඩ්ස් (ලංකා) පීඑල්සී සමාගමේ කොටස් ප්‍රතිශතය අතරින් වැඩිම ප්‍රමාණය CBL ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගමට අයත් වෙයි. එය 71.381% කි. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම වෙත 7.442%ක කොටස් ප්‍රතිශතයක් හිමිය. එසේම DAWI ඉන්වෙස්ට්මන්ට් ට්‍රස්ට් (පෞද්) සමාගම වෙත හිමි කොටස් ප්‍රතිශතය 6.75% කි.

Views: 266