යුනියන් බැංකුව සිය ප්‍රාථමික අලෙවිකාරත්වයෙන් ඉවත් වෙයි

යුනියන් බැංකුව සිය ප්‍රාථමික අලෙවිකාරත්වයෙන් ඉවත් වෙයි

යුනියන් බෑන්ක් ඔෆ් කලම්බු පීඑල්සී සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් සිදු කළ ඉල්ලීමකට අනුව එම බැංකුව විසින් සිදු කරනු ලබන ප්‍රාථමික වෙළෙඳ මෙහෙයුම් කටයුතු නැවැත්වීමට අවසරය ලබා දුන් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එහි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සහ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ රාත්‍රියේදී නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වෙයි. ඒ අනුව 2020 මැයි 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි යුනියන් බෑන්ක් ඔෆ් සිලෝන් හෙවත් යුනියන් බැංකුව සිය ප්‍රාථමික මෙහෙයුම් කටයුතු නැවැත්වීමට අවස්ථාව හිමිව තිබේ.

යුනියන් බැංකුවේ ව්‍යාපාරයමය තීරණයක් මත පදනම්ව මෙලෙස ප්‍රාථමික ගනුදෙනුවලින් ඉවත්වීමට ඉල්ලීම සිදු කර ඇතැයි සඳහන් වෙයි.

කෙසේ වෙතත් යුනියන් බැංකුව LankaSettle පද්ධතියේ ඍජු අලෙවිකරු සහභාගීකරුවෙක් ලෙස ඉදිරියටත් කටයුතු කරනු ඇති බවත්, සිය ගනුදෙනුකරුවන් වෙනුවෙනුත් නිර්ලේඛනගත රජයේ සුරැකුම්පත් ගනුදෙනු සිදු කිරිම සහ සිය ගනුදෙනුකරුවන්ගේ ගිණුම් LankaSecure පද්ධතියේ පවත්වාගෙන යාමද සිදු කරනු ඇති බවත් මහ බැංකුව පවසා සිටියි.

යුනියන් බැංකුව වෙත ඉහත අවසරය ලබා දෙන ලද්දේ එම බැංකුවේ හුදෙක් ව්‍යාපාරමය තීරණයක් මත පදනම් වන අතර, මෙමගින් යුනියන් බැංකුවේ බලපත්‍රලාභී වාණිජ බැංකුවක් ලෙස සිදුකරන ක්‍රියාකාරකම්/සේවා සඳහා කිසිදු බලපෑමක් සිදු නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටියි.

අද වනවිට බලපත්‍රලාභී වානිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳ සමාගම් මෙලෙස බලයලත් ප්‍රාථමික අලෙවිකරුවන් ලෙස කටයුතු කිරීමට අවස්ථාව උදා කරගෙන සිටියි. ඒ අනුව 2020 පෙබරවාරි 15 වැනිදා වනවිට යුනියන් බැංකුවද සමගින් සමාගම් 15ක් ඒ සඳහා සුදුසුකම් ලබා තිබෙන අතර, ඉන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සහ පෑන්ඒෂියා බැංකුව ප්‍රාථමික ගනුදෙනුවලින් ඉවත් කර තිබේ.

Views: 316